වර්ජනය කිරීමත් වෘත්තීය අයිතියක්මය

වර්ජනය කිරීමත් වෘත්තීය අයිතියක්මය
වැඩකරන ජනතාව සතු මූලික වෘත්තීය සමිති අයිතිවාසිකම් 7කි. සියලුම සේවකයින්ට ස්වයං සංවිධානයවීමේ අයිතියක් ඇත. ඊට රජයෙන් හෝ වෙනත් ආයතනයකින් පූර්ව අනුමැතියක් අවශ්‍ය නොවේ. දෙවැන්න නම් සෑම වෘත්තීය සමිතියකටම ස්වාධිපත්‍යයෙන් කටයුතු කිරීමේ බලයක් අයිතියක් හිමිවේ. තෙවැන්න නම් සෑම වෘත්තීය සමිතියකටම රජයේ පරිපාලන අධිකාරීන්ගේ තීරණය මත තම වෘත්තීය සමිතිය පිහිටුවීමට හා විසුරුවා හැරීමට ඒරෙහිව ආරක්ෂාව ලැබීමේ අයිතියක් ඇත. හතරවැන්න නම් සෑම වෘත්තීය සමිතියකටම සන්ධානගතවීමට හා සම්මේලනගතවීමට , ඒ්වාට එක්වීමට හා ජාත්‍යන්තරව අනුබද්ධවීමටද අයිතියක් ඇත. පස්වැන්න නම් වෘත්තීය සමිති විරෝධී හෝ අසමානව සැලකීම්වලට එරෙහිව ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසා ගැනීමට සෑම වෘත්තීය සමිතියකටම අයිතියක් ඇත. හයවැන්න නිදහස්ව හා සාමූහිකව කේවල් කිරීමට සෑම වෘත්තීය සමිතියකටම අයිතියක් ඇත. හත්වැන්න නම් වැඩවර්ජනය කිරීමේ අයිතියයි.
 
මෑතකදී වෘත්තීය සමිතිවල 'වැඩවර්ජන අයිතියට' එරෙහිව මර්දන නීති පැනවීමේ සැලසුමක් ගැන ඉඟි කරලියට පැමිණ තිබේ. අධිකරණ අමාත්‍යවරයා විසින් සහභාගිවූ ගුවන්විදුලි නාලිකවකදී, අමාත්‍යවරයාගේ හඬින්ම ඒ බව ප්‍රකාශ කරන ලදී. ආර්ථික මර්මස්ථානවලට අයත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට වැඩවර්ජනය කිරීමට ඇති අවස්ථාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහනම් කළයුතු බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි එහිදී පවසන ලදී. ඇතැම් වෘත්තීය සමිති සුළු සිද්ධියකට පවා වැඩවර්ජන කිරීමෙන් ජනතාව මෙන්ම ආර්ථිකයට වන හානිය අතිමහත් බව ඔහුගේ අදහසයි. මෙවැනි වර්ජන නතර කිරීම සඳහා ජනාධිපතිවරයාද මැදිහත් විය යුතු බවත්, වරාය, රේගුව,ජල සම්පාදන,විදුලිබල, තෙල් සංස්ථාව, වෛද්‍යවරුන්  වැනි ආයතනවල අයට වර්ජන තහනම් කළ යුතු බවත්,  හමුදාවට හෝ පොලීසියට වර්ජන බැරි අයුරින්ම එය කළ යුතු බවත් ඔහු එහිදී අවධාරණය කළේය.
 
අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් දින දෙකකට පසු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන තිස්ස කුට්ටිආරච්චිද, මේ හා සමාන ප්‍රකාශයක් සිදුකරන ලදී.  වැඩවර්ජන කරන අයට,  මේ අයිතිවාසිකම් ඉල්ලන වෙලාවක් නොවන බැව් අවධාරණය කරන බව ඔහු සඳහන් කළේය. වහලයක් නැති ගෙදරක කාමර බෙදා ගැනීමට අරගල කිරීම පලක් නැති ක්‍රියාවක් බවත්, ඒ් නිසාම මේ වෙලාවෙ නැවත කොරෝනා රැල්ලක් හිස එසවීමට ඉඩ නොදී වර්ජනය නොකර සිටීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කියා සිටියේය. 
 
වැඩවර්ජනය කරන රාජ්‍ය නිලධාරීන්ගෙන් එසේ නොකොට මේ වෙලාවෙ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවට ජනාධිපතිවරයා ඉල්ලීම් කර ඇති බවත්, එහෙත් එකී ඉල්ලීම් වලය ඇහුන්කන් නොදී පටු දේශපාලන වාසි සලසා ගැනීම වෙනුවෙන් වැඩවර්ජනය කරන්නේ නම් ජනාධිපතිවරයා තදබල ලෙස ක්‍රියා කළ යුතු බවට පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
 
කෙනෙකු රටේ අධිකරණ අමාත්‍යවරයාය. අනෙකාද, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නෙකි. මේ දෙදෙනා විසින් හුදු අහඹු තම පුද්ගලික මතවාද පමණක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ඇතැයි අප අනුමාන කළ යුතුද? මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය දැනටමත් සිය අප්‍රසාදය පළ කර තිබේ.
 
එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.
 
" රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට අත තියන්න ඉව අල්ලන ඇතැම් පාර්ශව වල මුට්ටිය දමා බැලීමක් විදිහට තමයි මේක අපි තේරුම් ගත යුතු වෙන්නේ. වෘත්තීය සමිති වැඩ වර්ජනය කරන්නේ ඇඟේ අමාරුවට නෙවේ. ඇමතිවරුන්ගේ සහ දේශපාලන බළල් අත් විදිහට පත් කෙරෙන ඉහළ පෙලේ නිළධාරීන්ගේ වගකීම ඉෂ්ඨ වෙනවානම් බොහෝ වැඩවර්ජන වළක්වා ගන්න පුළුවං. ඒ නිසා රට හදන්න නීතී ගේනවානම්, මුලින්ම පාලකයන්ගේ වගවීම මැනලා සේවයෙන් පහ කරන්න පුළුවන් දර්ශක ගෙන ආ යුතුයි"
 
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්ය.
 
"අලි සබ්‍රි ඇමති කියන්නේ ඡන්දයකින් ඇමති කෙනෙක් වෙච්ච කෙනෙක් නෙවේ. වන්දිභට්ටකම් කරලා පාර්ලිමේතු ඇවිල්ලා, විශාල වගකීම් සහිත ඇමති තනතුරුවලට පත් වෙන එකත් ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්න ඕනේ. මොකද එහෙම නොවන අය අහසින් පාත් වෙලා වගේ ඇමති වරු වුණාම ප්‍රජාතන්ත්‍රවාදය මොකද්ද, සාමාන්‍ය මිනිස්සුන්ගේ අයිතිය මොකද්ද කියලා නොදැන, රට පාලනය වැරදි පීලිවල යවනවා. මේ ප්‍රකාශය ආණ්ඩුවේ අභිලාශය ගැන විශාල කථාවක් කියනවා. ඒක ආණ්වේ මතය නෙවේනම්, වහාම ඒක නිවැරදි කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා."
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් එසේ ඉල්ලා සිටිනු ලැබුවද, එකී ඉල්ලීම ඉටුවන බවක් පෙනෙන්නට නැත. එබැවින් අප මෙයින් එළඹිය යුතු නිගමනය වන්නේ ඉදිරියේදී වෘත්තීය සමිති වැඩවර්ජන තහනම් කිරීමේ නීති ගෙන ඒ්මට පාලකයින් දැනටමත් පිඹුරුපත් සකසමින් සිටින බව නොවේද?
 
 
පී.ඩබ් මුතුකුඩආරච්චි