සෞඛ්‍ය වර්ජනය වගකිවයුතු සෞඛ්‍ය බලධාරියෙකු නොමැතිවීම නිසා ඇති වන්නක්

සෞඛ්‍ය වර්ජනය වගකිවයුතු සෞඛ්‍ය බලධාරියෙකු නොමැතිවීම නිසා ඇති වන්නක්

හෙට උදේ හතට පරිපූරක වෛද්‍ය සේවාවත්, හෙද සේවාවත්, අතුරු වෛද්‍ය සේවාවත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන අඛණ්ඩ වර්ජනය වලක්වා ගැනීමට හැකිව තිබියදී වගකිවයුතු සෞඛ්‍ය බලධාරී ඊට අපොහොසත්වීම හේතුවෙන් ඇතිවූවක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය, කැදවුම්කරු, රවී කුමුදේශ් මහතා ඊයේ(06) දින පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ, ගුරු වැටුප් විෂමතාවය ඉවත් කිරීමේදී රජය වගකීම් විරහිතව කටයුතු කර ඇති අතර, වැටුප් ව්‍යුහය පිළිබදව කිසිදු අවබෝධයකින් තොරව කටයුතු කර ඇත. ඒ හේතුවෙන් රට, වැටුප් ධුරවලිය පිළිබදව ප්‍රතිපත්තියක් නොමැති තත්වයට පත්ව ඇති බවත්, මෙම වැඩ වර්ජනය සදහා පිළිකා රෝහල්, ළමා රෝහල්, මාතෘ රෝහල් සහ වකුගඩු රෝහල් දායක කර නොගන්නා අතර, හදිසි හා ජීවිතාරක්ෂණ සේවාවන් ස්වේච්ඡාවෙන් සපයන බවත්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාකෂණවේදීන්, හෘත් පෙනහළු නිවේශක නිළධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරීන්, ඖෂධ සංයෝජක නිළධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් කණ්ඩායම් 16ක, ඇතුළු සියළු වෘත්තීයවේදීන් මෙම වරජනයට සහභාගී වන බවත් පවසා සිටියේය.

වර්ජනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය විසින් තම වර්ජනය සම්බන්ධයෙන් කරුණු දක්වා යවන ලද ලිපියේ දක්වා ඇත්තේ,

ඉල්ලීම්

1. 2021 ජූලි මස 05 වන දින අමාත්‍ය මණ්ඩලය අනුමත කල,

A. මාණ්ඩලික හිමිකම තහවුරු කිරීමට අදාලව, තනතුරු නම් කරන ලද චක්‍රලේඛය නිකුත් නොවීම.

B. වසර 12න් පළමු පන්තිය ලබන ශ්‍රේණි උසස්වීම් ක්‍රමයට අදාලව,

i. පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තීන්ට අදාලව චක්‍රලේඛ නිකුත් කිරීමට වන ප්‍රමාදය

ii. විෂමතා ඉවත් වන පරිදි 2010.11.01 දින දක්වා අදාල තීරණය පෙරදාතම කිරීම වෙනුවෙන් නැවත අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීම.

2. ගුරු වැටුප් විෂමතාවය පමණක් ඉවත් කිරීම හේතුවෙන් ඇතිවූ සමාන්තර වැටුප් විෂමතාවය ඉවත් කිරීම, ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව උල්ලංඝණය නොවන අයුරින් වැටුප් ප්‍රතිපත්තිය පවත්වා ගැනීම හා රනුක්ගේ වැටුප් කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම.

3. අතිකාල රේට් අගය නිර්ණයේදී සියළු සෞඛ්‍ය වෘත්තීන් සඳහා මූලික වැටුපෙන් 1/80 ක් ලෙස ගණනය කිරීම සහ වසර 21 කින් යාවත්කාලීන නොවූ ඇමතුම් හා නිදර්ශක දීමනාව ඊට අනුකූල වනසේ යාවත්කාලීන කිරීම.

4. වෘත්තීයවේදී උපාධියට අදාල නිවැරදි වැටුප් පරිමාණය ස්ථාපිත කිරීම සහ ගැළපෙන තනතුරු/රැකියා අවස්ථා හිමිකර දීම.

5. සියළු සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය වන “සෞඛ්‍ය පරිපාලන සේවය“ ස්ථාපිත කිරීම.

6. විශේෂ රාජකාරී දීමනාව රු. 10,000/- ක් ලෙස ඉහල දැමීම.

7. සෞඛ්‍ය වෘත්තීයවේදී සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීම.

ඒ අනූව උක්ත ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දීමට මෙතෙක් කිසිඳු උත්සහයක් නොගැනීමට එරෙහිව, හෙද - පරිපූරක වෛද්‍ය - අතුරු වෛද්‍ය සේවාවන්ගේ සමස්ථ සෞඛ්‍ය වෘත්තීයවේදී සාමාජිකත්වය 2022 පෙබරවාරි 07 වන දින පෙරවරු 7.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් වෙත යොමු වන අතර, සෞඛ්‍ය බලධාරීන්ට රෝගී සත්කාර සේවාවන් බිඳවැටීම පිළිබඳ වගවීමක් නොමැති වීම පිළිබඳව දැඩි ලෙස කණගාටු වෙමු.

එසේම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තුලද පිළිකා, කාන්තා හා ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව ආදී සෞඛ්‍ය ආයතන තුල ජීවිතාරක්ෂක සේවා පවත්වා ගැනීම පමණක් ස්වේච්ඡාවෙන් සිදු කරන බවත් දන්වමු.