ව්‍යවස්ථාවෙන් වැඩවර්ජන තහනම් කිරීමට කෙරෙන අලි සබ්රි ඇමතිවරයාගේ යෝජනාවට විරෝධය

ව්‍යවස්ථාවෙන් වැඩවර්ජන තහනම් කිරීමට කෙරෙන අලි සබ්රි ඇමතිවරයාගේ යෝජනාවට විරෝධය

වැඩ වර්ජනය කිරිමේ අයිතිය ව්‍යවස්ථාවෙන් තහනම් කළයුතු බවට පසුගියදා අධිකරණ ඇමති, අලි සබි‍්‍ර මහතා විසින් සිදුකළ ප‍්‍රකාශය ”පොදුදේපල හා මානවහිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය” දැඩිව හෙළා දකී.

මහජන චන්දයකින් නොව දේශපාලන පක්ෂයකට වන්දිබට්ටකම් කිරීමෙන්, උපරිම වශයෙන් වසර පහක් සඳහා  ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස අලි සබ්රි මහතා පත්ව සිටී. වර්තමාන ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා ලෙස ද කටයුතු කරමින් සිටින අයෙකු ආණ්ඩුකම ව්‍යවස්ථාවන් සුරක්ෂිත කිරීමට ඇති ආධිපත්‍ය ආරක්ෂා කිරීම ඔහුගේ වගකීමක් බව අප සංවිධානය පළමුව ඔහුට සිහිපත්කර සිටී.

ඔහු  ව්‍යවස්ථාවෙන් තහනම් කිරීමට යෝජනා කරන වැඩවර්ජනය කිරීමට  ඕනෑම සේවාවක සේවකයන්ට ඇති අයිතිය වැඩකරන ජනතාව දිනාගෙන ඇති ඓතිහාසික විශ්ව ජයග‍්‍රහණයක් බව සඳහන් කරමු. ලෝකයේ වැඩ කරන ජනතාවගේ අරගලයන් තුළින් අද ඔවුන් භුක්ති විඳින අයිතීන් හා වරප‍්‍රසාදයන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සියල්ල ලේ,කඳුලූ,දහදිය තුළින් ලබාගත් ජයග‍්‍රහණයන් බව මෙහිදී අප ඇමතිවරයාට සිහිපත් කරමු.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශණය තුළින් හා ජාත්‍යන්තර කම්කරු සංවිධානය 1948 වසරේ සම්මත කරනු ලැබූ සම්මුති අංක 87 හා 1949 සම්මත කරනු ලැබූ සම්මුති අංක 98 මගින් විශ්වීය වැඩකරන ජනයාට සංවිධානයවීමේ අයිතිය සහ සාමූහික කේවල් කිරීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරුකර තිබේ.

1978, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ෙඡ්දයේ 14-1 වගන්තිය ප‍්‍රකාරව ද  ඕනෑම පුරවැසියෙකුට සංවිධානයවීමේ නිදහස හා වෘත්තීය සමිතියකට බැඳීමේ නිදහස සම්පූර්ණයෙන් ම තහවුරුකර තිබේ. ශ‍්‍රී ලංකා රජය විසින් සම්මතකොට ඇති 1935 අංක 14 දරණ වෘත්තීය සමිති ආඥා පනත මගින් ද වෘත්තීය සමිති පිහිටුවා ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව නීති රීති සම්පාදනයකොට තිබේ.

ලොව පුරා වැඩකරන ජනතාව දිනා ඇති මෙවැනි ජයග‍්‍රහණයන් පිළිබඳව වෘත්තීම ය නීතිඥයෙකු වශයෙන් ද අවබෝධයක් ඔහුට තිබියයුතු වුවද බලයෙන් අන්ධව අත්තනෝමතිකව ක‍්‍රියාකරන බවක් ඔහුගේ උද්ධච්ඡු ප‍්‍රකාශයෙන් ගම්‍ය වේ.

ජාතික මට්ටමේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන 21න් සමන්විත අප සංවිධානය අධිකරණ ඇමතිවරයාගේ එම ප‍්‍රකාශය හෙළා දැකීමෙන් නොනැවතී එම ප‍්‍රකාශය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් ඉවත් කරගන්නා ලෙස ඇමතිවරයාට බලකර සිටී. අධිකරණ ඇමතිවරයාගේ මේ ප‍්‍රකාශය පිළිබඳව රජයේ සථාවරය පැහැදිළි කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ද  ”පොදුදේපල හා මානවහිමිකම් සුරැුකීමේ මධ්‍යස්ථානය” වැඩිදුරටත් ඉල්ලා සිටී.

කෙට් කලකට රටේ ආණ්ඩුව  බලය හෙබවීමට ලද ජනතා පරමාදිපත්‍ය බලය මෙලෙස අයතාු ලෙස භාවිතා කිරීමට වෙර දරණ මෙවැනි ඇමතිවරු ඇතුළු ප‍්‍රතිගාමී බලවේග පරාජය කිරීමට පෙල ගැසෙන ලෙස සියලූ ආකාරයේ ප‍්‍රගතිශීලී බලමුළු වෙතින් පොදු දේපල හා මානව හිමිකම් සුරැුකීමේ සංවිධානය ලෙස අප ඉල්ලා සිටිමු.

01. ලංකා බැංකු සේවක සංගමය

02. ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමය

03. ලංකා වතු සේවා සංගමය

04. එක්සත් කම්කරු සම්මේලනය

05. තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය

06. ලංකා ගුරු සංගමය

07. තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය

08. ස්වාධීන තටාක සේවක සංගමය

09. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

10. ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය

11. එක්සත් පොදු සේවක සංගමය

12. රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය

13. දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව

14. ආහාර, බීම සහ දුම්කොළ කර්මාන්ත සේවක සමිතිය

15. කාන්තා කම්කරු සහයෝගිතා සංගමය

16. වාණිජ හා කාර්මික සේවක සංගමය

17. රක්‍ෂණ සේවක සංගමය

18. සමස්ත ලංකා විදුලි සංදේශ සේවක සංගමය    

19. ටෙලිකොම් ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය

20. ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

21. ප්‍රොටෙක්ට් සංගමය