සේවක අරමුදල් නිදහස් කරනවාද? ලිඛිතව විමසයි

සේවක අරමුදල් නිදහස් කරනවාද? ලිඛිතව විමසයි

සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල ඇතුළු සේවක අරමුදල් යෝජිත අධිභාර බද්දෙන් නිදහස් කරන බවට මුදල් අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශය විශ්වාස කළ නොහැකි නිසා ඒ සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයාගෙන් හා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගෙන් ලිඛිතව විමසීමට වෘත්තීය සමිති තීරණය කර ඇත.

අධිභාර බද්ද සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය ඒ අනුව සංශෝධනයට ලක්කරනවාද යන්න මුදල් ඇමතිවරයාගෙන් විමසීමට නියමිත අතර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසීමට නියමිතව ඇත්තේ සේවක අරමුදල් බද්දෙන් නිදහස්

කරන්නේද යන්නය. එම කරුණු ඇතුලත් ලිපියම මුදල් අමාත්‍යාංශ ලේකම් එස්ආර් ආටිගලටත් යොමු කිරීමට නියමිතය.

එම ලිපිවල අවධාරණය කර ඇත්තේ මේ වනවිටත් එවැනි සේවක අරමුදල් සියයට 14ක බද්දක් ගෙවමින් සිටින බවය.

සමාජ ආරක්ෂණ අරමුදල් සුරැකීමේ වෘත්තීය සමිති සංසදය ලෙස මෙම ලිපි මුදල් ඇමතිවරයාට හා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට යොමු කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ලැබෙන පිළිතුරු මත ඉදිරි කටයුතු තීරණය කිරීමට නියමිතය.

එම ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් පෙබරවාරි 23 වැනිදා නැවත රැස්වීමට නියමිත බවත් කම්කරු ඇමතිවරයා පෙබරවාරි 21 වැනිදා කැඳවා ඇති ජාතික කම්කරු උපදේශක සභාවේදී මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් පැවසීය.

(anidda)