ශ්‍රී ලංකා හෙද සභාවේ නිලධාරින්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා හෙද සභාවේ නිලධාරින්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා දෙවන හෙද සභාවේ නව නිලධාරී මණ්ඩලය වෙත පත්වීම් ලිපි ප්‍රදානය (02) දින සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

2016   වසරේදී  පළමු හෙද සභාව පිහිටවූ අතර අනතුරුව එහි නිළ    කාලය අවසන්ව වසර 05 කින් එය විසුරුවා හැරිණි. යළි පසුගිය වසරේ දෙසැම්බර් 11 වන දා දෙවන හෙද සභාව සදහා වන නිලවරණය පවත්වනු ලැබීය .  එම නිලවරණයෙන් තේරී පත් වූ නිලධාරීන් 19 දෙනෙකු සදහා අද දින (02) පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු විය.

1939 වසරේ කොළඹ හෙද විදුහල ආරම්භ කළ අතර ඉන් විධිමත් අධ්‍යාපනය ලැබූ හෙද හෙදියන්ට ජනතා සේවයට අවශ්‍ය බලපත්‍රය ලබා දී ඇත්තේ 1944 ශ්‍රි ලංකා වෛද්‍ය සභාවයි. එසේ වුවත් ඡ්‍යෙෂ්ඨ හෙද හෙදියන් ස්වාධිනත්වයක් අපේෂා කළ අතර, 1978 සිට හෙද සභාවක් පිහිටුවීමට මුලික පදනම වැටුණි. 2011 මැයි 12 වන දා ජාත්‍යන්තර හෙද දිනයේ දී හෙද සභාව ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරිණි.

මෙම හෙද සභාවේ මුලික කාර්යභාරය වනුයේ ජනතාවට ගුණාත්මක හා ආරක්ෂිත සේවාවක් සැපයීම සදහා අවශ්‍ය සුදුසුකම් තහවුරු කිරීම, සෞඛ්‍ය ප්‍රතිපත්ති සැකසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාල තාක්ෂණික සහාය ලබාදිම, හෙද සේවා / අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය ප්‍රමිතීන් සැකසිම හා නියාමනය, රාජ්‍ය පුහුණු හෙද හෙදියන් ලියාපදිංචි කිරීම තුළින් නීතිමය අවසර ලබාදීම, හෙද විෂය පාඨමාලා සැකසීම, විභාග පැවැත්වීමේ ක්‍රමවේද යාවත්කාලීන කිරීම සහ මාර්ගෝපදේශ සැලසීම, විනය විරෝධී ක්‍රියාවන්හි නියලෙන්නේ යැයි චෝදනා ලැබූ අයට පරීක්ෂණ පැවැත්වීම සහ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, වෘත්තීය සංවර්ධනය යන කරුණු මුලික කරුණු වේ.

පත්වීම් ලිපි ප්‍රදානය  කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ, මෙම පත්වීම් සරල පත්වීම් නොවන බවත්, ඔවුන් හට විශාල වගකීම් සම්භාරයක් පැවරී ඇති බවත්ය. ඡන්දයෙන් සහ නිල බලයෙන් පත්කිරීම් සිදුවුවද , කුමන ආකාරයට පත් වුවත් ඔවුන්ගේ වගකීම්වල කිසිදු වෙනසක් නොවන බව ද පෙන්වා දෙන ලදි. කුමන තරාතිරමෙන්ද, කුමන අංශයෙන් ද, කුමන වෘත්තීය සමිතියෙන් ද යන්න අදාල නොවන බවත්, ආදාල වන්නේ තමාගේ රාජකාරිය, යුතුකම් සහ වගකීම් නිසි පරිදි ඉෂ්ඨ කිරිම බවද අමාත්‍යවරයා මෙහිදී  කීය.

වගකීම්, යුතුකම්, කාර්යභාරය සම්බන්ධව ඉතාම නිදහස්ව, නිරවුල්ව, මධ්‍යස්ථව, අපක්ෂපාතීව සියළු දෙනාටම කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට තමා විශ්වාසය තබන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. 

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, අතිරේක ලේකම්වරුන් වන  ඒ.එන්.එම්.කේ අත්තනායක, චන්ද්‍රසේන පල්ලේගම, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කේ. යෝගචන්ද්‍ර යන මහත්මින් ඇතුලු හෙද නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.