අධ්‍යාපන අමාත්‍යංශයේ නිතී විරෝධී පත්කිරීමක් පිළිබඳ උත්සාහයක්

අධ්‍යාපන අමාත්‍යංශයේ නිතී විරෝධී පත්කිරීමක් පිළිබඳ උත්සාහයක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ශාඛාවේ අධ්‍යක්ෂ (ක්‍රීඩා සංවර්ධන) තනතුර සඳහා ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ ලේකම්වරයා අනීතිකව පත් කිරීමේ සූදානමක් පවතින බවත් එය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ගුරු සේවයේ නිලධාරීන් දේශපාලන උවමනාවන් මත අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවලට පත් කිරීම අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණය කිරීමක් බව ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපන ශාඛාවේ අධ්‍යක්ෂ (ක්‍රීඩා සංවර්ධන) තනතුර සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරියෙකු වන අනිල් චන්ද්‍රසිරි වීරසිංහ මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් පවතී. ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන අනිල් චන්ද්‍රසිරි වීරසිංහ මහතා මෙම තනතුරට පත් කිරීමට කටයුතු කිරීමෙන් පැහැදිලි වන්නේ මෙය දේශපාලන උවමනාවන් මත සිදු කරන කටයුත්තක් බවයි. ඒ සම්බන්ධයෙන් අපගේ බලවත් විරෝධය පළ කර සිටිමු.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපන ශාඛාවේ අධ්‍යක්ෂ (ක්‍රීඩා සංවර්ධන) තනතුර ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ අනුමත සේවක සංඛ්‍යාවට අයත් තනතුරකි. ඒ සඳහා සුදුසුකම්  ලැබූ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සිටියදී ශ්‍රී ලංකා ගුරු සේවයේ 1 පන්තියේ නිලධාරියෙකු මෙම තනතුරට පත් කිරීම ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝණය කිරීමකි.

යෝජිත කැබිනට් පත්‍රිකාවේ මෙම පුද්ගලයාගේ නම සඳහන් කරමින් ඔහු ගුරු සේවයේ බව ද පිළිගෙන ඇත. මෙම පුද්ගලයාට ඇති සුවිශේෂත්වය කුමක් ද? එය දේශපාලනය පමණි. යෝජිත කැබිනට් පත්‍රිකාවේ අංක 2 හි දක්වා ඇත්තේ අනිල් චන්ද්‍රසිරි වීරසිංහ මහතාට ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 32 ක පළපුරුද්දක් ඇති බවත්, ඔහු දක්ෂ පළපුදුරු නිලධාරියෙකු බව ඔහුගේ ජීව දත්ත විස්තරවලින් මනාව පැහැදිලි වන බවත්ය. එසේ යෝජිත කැබිනට් පත්‍රිකාවේ ඔහුගේ ජීව දත්ත පමණක් සඳහන් කරන්නේ ක්ෂේත්‍රයේ සිටින අනෙකුත් නිලධාරීන්ගේ ජීව දත්ත පරීක්ෂා කිරීමෙන් අනතුරුව ද යන්න අප ප්‍රශ්න කර සිටිමු.

මේ ආකාරයෙන් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ගුරු සේවයේ නිලධාරීන් දේශපාලන උවමනාවන් මත අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවලට පත් කිරීම අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණය කිරීමකි. 

මීට පෙර පසුගිය රජය සමයේ ද මෙම තනතුර සඳහා සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අනීතික ලෙස කර්නල් මංජුල කාරියවසම් නමැති අයෙකු පත් කිරීමට කටයුතු කරන ලද අතර, ඒ සඳහා ලංකා ගුරු සංගමය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු අංශවල විරෝධය පළ කිරීම හමුවේ එම  නිලධාරියා එම තනතුරෙන් ඉවත් කරන ලදී.

මෙම අනීතික පත්වීම නතර කරන ලෙස ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයාගෙන්ද ලිඛිත ඉල්ලීමක් කර ඇති අතර, මෙවැනි අනීතික පත්වීමක් සිදු කළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් පෙන්වා දෙමු.