අත්‍යාවශ්‍යය ස්ථානයන් වෙත අඛණ්ඩව විදුලිය දෙන්න මෙහෙයුම් මැදරියක්

අත්‍යාවශ්‍යය ස්ථානයන් වෙත අඛණ්ඩව විදුලිය දෙන්න මෙහෙයුම් මැදරියක්

විදුලිය අත්‍යාවශ්‍යය ස්ථානයන් වෙත කප්පාදුවකින් තොරව විදුලි සැපයුමක් ලබාදීම අනිවාර්යයෙන් කළයුතු බවත්, ඒ වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මකවන මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කොට, අද සිට විදුලිබල අමාත්‍යාංශය යටතේ  ක්‍රියාත්මක කළයුතු බවත්, විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙයි.

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම ‍වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ගයන් පිළිබදව, විදුලිබල අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, වාරිමාර්ග අමාත්‍යාංශය,කර්මාන්ත අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය ආදි ආයතන රැසක සහභාගීත්වයෙන් (08) දින විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවකදී පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය විසින් අදාළ අංශ වෙත මෙම උපදෙස් ලබාදී තිබේ.

පවතින වියලි කාලගුණික තත්ත්වය යටතේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම දුෂ්කර වුවත්, 24 පැයම විදුලි සැපයුමක් අත්‍යාවශ්‍ය රෝහල්, ආරක්ෂක ස්ථාන, ආයෝජන ප්‍රවර්ධන කලාප වැනි ස්ථානයන් වෙත  අඛණ්ඩ සැපයුමක් ලබාදීම වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ගයන් අනිවාර්යයෙන්ම නොපමාව ගතයුතු බවත්, ඒ වෙනුවෙන් අදාළ ආයතනයන්ගේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම් මැදිරිය පවත්වාගෙන යනු ලබන බවත්, මෙහිදී අමාත්‍යවරිය විසින් වැඩිදුරටත් අවධාරණය කළාය.

මෙම සාකච්ඡාවට විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා  පෙරේරා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්. සී. ප්‍රදිනාන්දු, උප සභාපති නලින්ද ඉලංගකෝන්, සාමාන්‍යාධිකාරි ආචාර්ය රොහාන්ත අබේසේකර යන මහත්මහත්මීන් ඇතුලු ආයතන ප්‍රධානීන් විශාල පිරිසක් සහභාගී වූහ.