වෛද්‍යවරුන්ට ඉන්ධන ගන්න පහසුකම් සලසන ලෙස ජනාධිපතිවරයාට ලියයි

වෛද්‍යවරුන්ට ඉන්ධන ගන්න පහසුකම් සලසන ලෙස ජනාධිපතිවරයාට ලියයි

මේ වන විට රට තුල මතුව ඇති උග්‍ර ඉන්ධන අර්බුදය හමුවේ වෛද්‍යවරුන්ගේ ඉන්ධන අවශ්‍යතාවය පිළිබඳව ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ වෛද්‍යවරුන් වෙනුවෙන් ප්‍රමාණවත් පරිදි අපහසුවකින් තොරව ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස්කර දෙන ලෙසයි.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

  • වෛද්‍ය නිළධාරීන් තම රාජකාරී අවශ්‍යතාවය පදනම් කර ගනිමින් සාමාන්‍ය රාජකාරී මෙන්ම ඇමතුම් රාජකාරී සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සම්පූර්ණ කිරීම සඳහා තම පුද්ගලික රථවාහන යොදාගන්නා අතර මේ දිනවල පවතින රට තුල පවතින ඉන්ධන අර්බුදය හමුවේ එම රථවාහන වෙනුවෙන් ඉන්ධන ලබා ගැනීම ගැටළුවක් බවට පත්වෙමින් තිබේ.
  • වෛද්‍ය නිළධාරීන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය අනෙක් සියළුම රාජ්‍ය නිළධාරීන්ට වඩා විශේෂිත වූවකි. එනම් පැය 24 පුරා කැඳවන ඕනෑම මොහොතක (එක් දිනයකදී කිහිපවාරයක් වුවද) රෝහල කරා ගමන් කලයුතු වීමත් සතියේ දින 05 ට අමතරව සියළුම සෙනසුරාදා, ඉරිදා දිනයන් මෙන්ම මහජන නිවාඩු දිනයන්හිදී පවා රාජකාරීයට වාර්තා කළයුතු වීමත් ඒ අතරින් ප්‍රධාන වේ. එමෙන්ම මෙලෙස පැය 24 බැගින් දින 365 සේවාවක් ලබාගත්තද රෝහල් තුල හෝ ආසන්නයේ නිල නිවාස සපයා නොමැති වීමත් ප්‍රවාහන අවශ්‍යතාවය වැඩි කිරීමට හේතු වී තිබේ.
  • එබැවින් දිගු වේලාවක් ඉන්ධන පෝලිම් වල රැඳී සිටීම හෝ එසේ කාලය වැයකර අවශ්‍යතාවයට නොසරිලන ඉන්ධන ප්‍රමාණයක් ලබාගැනීම වෛද්‍යවරුන්ගේ සේවා සැපයීමේදී බරපතල අපහසුතා ඇතිකරමින් තිබේ.

මේ පිළිබඳව ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමුකර වෛද්‍යවරුන් වෙනුවෙන් ප්‍රමාණවත් පරිදි අපහසුවකින් තොරව ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස්කර දෙන මෙන් ඉල්ලමු.