මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දේශපාලකයින්ට පිළිගැනීම් ලබාදෙන ලෙස ඉල්ලයි

මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දේශපාලකයින්ට පිළිගැනීම් ලබාදෙන ලෙස ඉල්ලයි

රටේ පවතින ආර්ථික අර්බදුය හමුවේ ජනතාව අභියසට යාමට නොහැකිව සිටින දේශපාලනඥයන්ට ජනතාව ඉදිරියට යාමට පාසල් පද්ධතිය උපයෝගී කර ගැනීමේ දේශපාලන ක්‍රියාවක් වන අතර, රාජ්‍ය නිලධාරියෙක් විසින් දේශපාලන උවමනාවන් මත කටයුතු කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය බලවත් විරෝධය පළ කර සිටින අතර, වහාම උක්ත ලිපිය ඉවත් කර ගන්නා ලෙස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, විදුහල්පතිවරු අමතමින් මාර/මුල/කලා/පොදු/02 අංකයෙන් සහ 2022.03.04 දිනැතිව මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අත්සනින් නිකුත් කරන ලද ලිපියක් මගින් දන්වා ඇත්තේ පාසල්වල විවිධ උත්සව සංවිධානය කිරීමේදී කොට්ඨාසයේ ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය දැනුවත් කරමින් මහජන නියෝජිතයින් සම්බන්ධ කර ගනිමින් අවශ්‍ය සහයෝගය ලබා ගන්නා ලෙසත්, ඔවුන් සහභාගි කරවා ගනිමින් පවත්වන රැස්වීම් උත්සව වලදී  ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් නිසි පිළිගැනීම ලබාදෙන ලෙසත්ය.

මෙය, පාලකයන්ගේ වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් මේ වන විට රටේ පවතින ආර්ථික අර්බදුය හමුවේ ජනතාව අභියසට යාමට නොහැකිව සිටින දේශපාලනඥයන්ට ජනතාව ඉදිරියට යාමට පාසල් පද්ධතිය උපයෝගී කර ගැනීමේ දේශපාලන ක්‍රියාවකි. රාජ්‍ය නිලධාරියෙක් විසින් මේ ආකාරයෙන් දේශපාලන උවමනාවන් මත කටයුතු කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය බලවත් විරෝධය පළ කර සිටින අතර, වහාම උක්ත ලිපිය ඉවත් කර ගන්නා ලෙස ප්‍රකාශ කර සිටිමු.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සහ දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුවත් කිරීමට ද කටයුතු කර ඇත.

එසේම කාන්තා දිනය තේමා කර ගනිමින් පළාත් සභාවලට අයත් බාලිකා පාසල් 8 ක් ජාතික පාසල් ලෙස නම් කිරීමට කටයුතු කර තිබුණි. මෙය ද ඉහත ආකාරයේ ම දේශපාලන ක්‍රියාවකි. කෝවිඩ් වසංගත තත්වය තුළ පාසල් දරුවන්ගේ අහිමි වූ අධ්‍යාපනය යථාවත් කිරීමට කටයුතු නොකළ ආණ්ඩුව පළාත් සභා පාසල් දහසක් ජාතික පාසල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙසේ ජාතික පාසල් නම් කරමින් දේශපාලනඥයන් සහභාගී කරවා ඒ සඳහා පාසල්වල උත්සව පවත්වමින් දේශපාලන ක්‍රීඩාවක නිරත වෙමින් සිටී. පළාත් සභා පාසලකට රුපියල් ලක්ෂ 10 ක් ලබා දී බෝඩ් ලෑල්ලක් පමණක් සවි කිරීමෙන් ජාතික පාසලක් නොවන අතර, මෙය පැහැදිලිවම මේ වන විටත් අසාර්ථක ව්‍යාපෘතියක් වී ඇත.

මේ ආකාරයෙන් දේශපාලන උවමනාවන් වෙනුවෙන් පාසල් පද්ධතිය යොදා ගැනීමේ දේශපාලන ක්‍රියාකාරීත්වයන් වහා නතර කරන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. 

එම ලිපිය පහතින් දැක්වේ.