ඉන්ධන ප්‍රවාහනකරුවෝත් සේවයෙන් ඉවත්වෙති

ඉන්ධන ප්‍රවාහනකරුවෝත් සේවයෙන් ඉවත්වෙති
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හරිනු ලබන පෞද්ගලික ටැංකි රථ හිමියන් (බවුසර්) අද(15) මධ්‍යම රාත්‍රියේ සිට සංස්ථාවේ ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
 
ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60කින් ඉහළ දමන ලෙස සංස්ථාවේ පාලන අධිකාරියෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් අද(15) හවස රැස්වූ සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළැඹි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හරිනු ලබන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පවසයි.
 
ඉන්ධන මිල වැඩිවීම සහ ඩොලරය ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60 කින් වැඩි කරන ලෙස සංගමය පාලනාධිකාරියෙන් ඉල්ලීමක් කළ බවද ඔහු සිහිපත් කළේය.
 
ඉන්ධන මිල වැඩිවීම සහ ඩොලරය ඉහළ යාමට අමතරව ලිහිසි තෙල් සියයට 75 කින් ඉහළ යාම, ටයර් මිල වැඩිවීම ඇතුළු කරුණු කිහිපයක් නිසා මෙම ප්‍රවාහන ගාස්තු වැඩිවීමට ඉල්ලීමක් කළ බවද දින දෙකක් තුළ විසඳුමක් නොලැබීම නිසා ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත්වීමට තීරණය කළ බවත් කියා සිටියේය.
 

දැනට සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීම සඳහා පෞද්ගලික ටැංකි රථ 800 ක් පමණ සේවයේ යොදවනු ලැබ තිබේ.