ජනපතිගේ අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුවට රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ විරෝධය

ජනපතිගේ අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුවට රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ විරෝධය

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අත්‍යවශ්‍ය සේවා ගැසට් පත්‍රය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය තම විරෝධය පළ කොට තිබේ. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ රටේ ඇතිවන හදිසි අවස්ථා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී කෙටිකාලීන පදනමකින් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගැනීමට මෙම ප්‍රථිපාදනය සකස් කර තිබුණද, මේ මගින් වෘත්තිය අයිතිවාසිකම් සියල්ලම බරපතල ලෙස කප්පදු කර දමන බවය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රට තුල ඇතිවී තිබෙන ඉතාම දරුණු ආර්ථික කඩාවැටීමත්, පාලන තන්ත්‍රය පිළිබදව දිනෙන් දින ගොඩනැගෙමින් තිබෙන තීව්‍ර මහජන අසතුට හමුවේත්, වෛද්‍ය වෘත්තිකයින් වශයෙන් සෞඛ්‍ය සේවාවන්හීත්, එම සේවා සපයන සමස්ථ වෛද්‍ය ප්‍රජාවේත් සුවිශේෂී ගැටලු පිළිබදව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

1. පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉතාම දරුණු කඩාවැටීමකට ලක්වෙමින් පවතින ක්ෂේත්‍රයක් වන්නේ සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයයි. දිනෙන් දින කප්පාදු කරමින් පවතින ප්‍රතිපාදන ප්‍රමාණය හමුවේ, සේවාවන් සැපයීමට ප්‍රමාණවත් ඖෂධ, රසායන ද්‍රව්‍ය, ශල්‍ය උපකරණ සහ යෙදවුම්, වෛද්‍ය පරීක්ෂණ සදහා භාවිතා කරන පාරිභෝජන ද්‍රව්‍ය (consumables) ආදියේ විශාල හිගවීමක් ඇතිවීමට පුලුවන. මේ හේතුවෙන් හදිසි ප්‍රතිකාර සේවා පවා අඩාල වීමේ අනතුරක් පවතී.

වෙළඳපොලේ ඖෂධ හිග වීම, ඖෂධ මිල සාමාන්‍ය ජනයාට උසුලාගත නොහැකි තරමට ඉහලයෑමත් නිසා අසරණ රෝගීන් දැඩි අර්බුදයකට ලක්වී තිබේ.

2. මෙතෙක් පැවති වැටුප්, දීමනා සහ අනෙකුත් සේවක අයිතිවාසිකම් පිළිබද ගැටලු කිසිවක් නිරාකරණය නොකර ඇති පසුබිමක, ඇතිවී ඇති ආර්ථික දුශ්කරතා හමුවේ වෛද්‍ය වරුන් ඇතුළු සමස්ථ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයට බරපතල දුශ්කරතා වලට මුහුණ දීමට සිදුවේ. සෞඛ්‍ය සේවාව, දිවා රාත්‍රී අඛණ්ඩ සේවාවන් සපයන අත්‍යවශ්‍ය සේවාවක් වන බැවින්, අඛණ්ඩ සේවා සැපයීමේ වැදගත්කම අවධාරණයට ලක් කරමින්, ඉහත ගැටලු වලට කිසියම් විසදුමක් ලබා දීමේ වැදගත්කම අවධාරණය කල යුතුය.

තවද, ඇතිවී තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ පැය 24 ඇමතුම් රාජකාරී යෙදන වෛද්‍යවරුන් ඇතුලු කාර්‍යමණ්ඩලයේ ප්‍රවාහන පහසුකම් පිළිබදවත්, රෝගී ගිලන්රථ සහ සෞඛ්‍ය ප්‍රවාහන සේවා අඩපණ වීමේ අවධානමක් තිබේ. ඉන්ධන හසැපයුම් රෝහල් වල අඛණ්ඩ විදුලි සැපයුම් අඩාල වීමෙන් දැඩි සත්කාර සේවා, ශීතකරණ ආදී වූ ඉතාම සංවේදී සේවාවන් අර්බුදයට ලක්වී තිබේ.

3. දීර්ඝ කාලයක් තිස්සේ වෛද්‍ය වරුන්ගේ පත්වීම් සහ ස්ථාන මාරු නිසි පඨිපාටියකට අනුව ක්‍රියාත්මක නොකිරීමත්, වසර 20කට වඩා පැරණි ශ්‍රේණි වෛද්‍ය වරුන් සහ විශේෂඥ වෛද්‍ය වරුන්ගේ ස්ථාන මාරු ක්‍රමවේදය වත්මන් සෞඛ්‍ය අවශ්‍යතා වලට ගැලපෙන පරිදි යාවත්කාලීන නොකිරීම නිසා බරපතල ගැටලු ඇතිවී තිබේ. මේ පිළිබඳව යුහුසුළුව මැදිහත් වන ලෙව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයාගෙන් අප සංගමය ලිඛිත ඉලීමක් කර තිබේ.

වෛද්‍ය ක්ෂේත්‍රයේ සිදුවී තිබෙන සීඝ්‍ර දියුණුවත්, රෝගී අවශ්‍යතාවයන් පුලුල්වීමටත් ගැලපෙන පරිදි, නිසි පුහුණුව, නිපුණතාව සහ අත්දැකීම් සහිත වෛද්‍ය වරුන් සාධාරණ පඨිපාටියක් යටතේ ස්ථානගත කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, නව ක්‍රමවේදයක් සකස් කිරීමට අප යෝජනා කර තිබේ.

4. ජනාධිපති වරයා විසින් 1979 අංක 64 දරණ අත්‍යවශ්‍ය සේවා පණතේ ප්‍රතිපාදන අනුව පසුගිය ඔක්තෝබර් මස 29 වැනිදා අංක 2251/64 දරන අත්‍යවශ්‍ය සේවා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. රටේ ඇතිවන හදිසි අවස්ථා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී කෙටිකාලීන පදනමකින් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගැනීමට මෙම ප්‍රථිපාදනය සකස් කර තිබුණද, වෘත්තිය අයිතිවාසිකම් සියල්ලම බරපතල ලෙස කප්පදු කර දමන ඉතාම මර්දනකාරී නීතියක් වන මෙයට විරුද්ධව, සියලුම වෘත්තිය සමිති මේ වනවිට එකතු වී සිටිති. රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය මෙම ගැසට් පත්‍රය පිළිබදව ඉතාම දැඩි විරෝදත්වය ප්‍රකාශකර සීටී.