ණය නොගෙවීම හේතුවෙන් රසායනාගාර පරීක්ෂණ සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් නතරවන ලකුණු

ණය නොගෙවීම හේතුවෙන් රසායනාගාර පරීක්ෂණ සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් නතරවන ලකුණු

රසායනාගාර ප්‍රතික්‍රීයක ඇතුලු අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් සදහා බිලියන 10ක පමණ ගෙවීම් පැහැර හැරීම නිසා රසායනාගාර පරීක්ෂණ සහ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් රැසක් ක්‍රමාණුකූලව නතරවන තත්වයකට පත්ව තිබේ.

රසායනාගාර පරීක්ෂණ සිදු කිරීම සදහා බාහිර සමාගම් මගින් මිලදී ගනු ලබන ප්‍රතික්‍රීයක ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සදහා සදහා ගෙවිය යුතු බිලියන 10ක පමණ මුදලක් නොගෙවීම හේතුවෙන් තවදුරටත් අදාල සැපයුම් සිදු කල නොහැකි බව ඇතැම් සමාගම් සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා ඇති අතර, ඒ හේතුවෙන් කුඩා ප්‍රමාණයේ සමාගම් කිහිපයක්ම වසා දැමෙන තත්ත්වයකට පත්ව තිබේ.

රසායනාගාර පරීක්ෂණ සඳහා අදාල ප්‍රතික්‍රියක නොලැබීම මත දැනටමත් සිදු කරමින් සිටින පරීක්ෂණ ප්‍රමාණය සීමා කිරීමට සිදුව ඇති අතර, ඇතැම් පරීක්ෂණ නතර කරන තත්ත්වයකට පත්ව තිබේ.

ණය ප්‍රමාණය පමණක් බිලියන දහයක සීමාව ඉක්මවා තිබියදී, මෙවර අය වැය මගින් ඒ සදහා වෙන්කර ඇති සම්පූර්ණ ප්‍රතිපාදනය බිලියන හතරකට සීමා කර ඇත. එම මුදලෙන්ද ප්‍රතිපාදන මේ යොමු කර ඇති මුදල රුපියල් බිලියනයකට සීමාවී ඇති අතර, පළමු කාර්තුව සදහා මුදල් ලෙස ලැබී ඇත්තේ රුපියල් මිලියන 200ක් පමණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ යතාවත් නොකල තොරතුරු පද්ධතියේ සඳහන් වන ණය මුදලේ ප්‍රමාණය පවා බිලියන 4කට වඩා වැඩි අගයක් සටහන්කොට තිබියදී, රුපියල් මිලියන 200ක් මඟින් ඉදිරියේදි එම සේවාවන් පවත්වා ගැනීමට නොහැකිව නතර කර දැමීමට සිදු වීම ඉතා පැහැදිළිය.

තත්වය එසේ තිබියදී පවා, කොමිස් වුවමණාව මත ගෙන්වන අනවශ්‍ය උපකරණ, අඩු වියදම් පරීක්ෂණ වෙණුවට ගජ මිතුරන්ගේ මිල අධික ක්‍රම භාවිතා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් මුදල් නාස්ති කරමින් සිටීම තවදුරටත් සිදුවන අතර, රසායනාගාර පරීක්ෂණ සිදු කිරීමේදී අඩුම මුදලට ඇති ප්‍රතික්‍රීයක භාවිතය හා අනවශ්‍ය ලෙස උපකරණ ගෙන්වීම වැලැක්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු සාධනීය මැදිහත්වීමක් සිදු කරන බවක් පෙනෙන්නට නැත.

ඉතා හොදින් වැඩ කරන තත්වයේ උපකරණ ඉවත දමා, බිලියන ගණනක් වටිනා නව උපකරණ ගෙන්වීමත්, අඩු මුදලට පරීක්ෂණ කල හැකි යන්ත්‍ර වෙණුවට, එක් පරීක්ෂණයක මිල ඉතා වැඩි ප්‍රතික්‍රීයක මිලට ගැනීමට සිදුවන තත්වයට පත් කිරීමත් පාලනය නොකිරීමත් නිසා මෙම ණය බර දෙගුණ, තෙගුණ වී ඇත. ඒකක පරීක්ෂණයක මිල පාලනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය අවබෝධයකින් කටයුතු කරන ලද්දේ නම්, මෙම ණය බර හරි අඩකින් අඩුකර ගැනීමට හැකිව තිබුණි.

කෙසේ නමුත් එකී අකාර්යක්ෂම මුල්‍ය පාලනය හේතුවෙන් අවසානයේ රසායනාගාර පරීක්ෂණ සියල්ල නතරකර දැමීමට සිදුවන තත්වයකට පත්ව තිබෙන බැවින්, ප්‍රමාදවී හෝ ඒ සදහා දැනුවත් පාර්ශව සමග එකව වැඩ පිළිවෙලක් සෑදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමකි

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය