අපේ රටේ බොහෝ පෞද්ගලික ආයතන සමාජ වගකීම තේරුම් අරන් නෑ

අපේ රටේ බොහෝ පෞද්ගලික ආයතන සමාජ වගකීම තේරුම් අරන් නෑ

ඕනෑම  ආයතනයක්  දියුණුව ලබන්න නම් එම ආයතන තමන්ගේ ව්‍යාපාරයේ  සේවකයන් හා කොටස්කරුවන් පිළිබඳ වන සමාජ වගකීම ගැඹුරින් අවබෝධ කරගෙන ඒ පිළිබඳව ක්‍රියා කළ යුතුයි. නමුත් අපේ රටේ බොහෝ පෞද්ගලික ආයතන එම සමාජ වගකීම තේරුම් නැති බව මගේ හැඟීමයි. අපේ රටේ ආර්ථිකය නොවීමට එක හේතුවක්  අපේ රටේ පෞද්ගලික අංශය තම සමාජ වගකීම අමතක කර දැමීම. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ රත්නපුර ලිබර්ටි මෝටර්ස්  ආයතනය තම ආයතනීය සහකරුවන් සහ සේවකයන්ට  ප්‍රසාද ප්‍රණාම පිරිනැමීමේ කොළඹ පැවති  (17) දින උත්සවයේදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ,ආයතනයක වටිනාම සම්පත මානව සම්පතයි. නිර්මාණශීලී ක්‍රියාකාරකම් සමගින් එම මානව සම්පත තමන් සමග සමඟ බද්ධ කර තබා ගැනීමේ වැඩපිළිවෙළක් අපේ පෞද්ගලික අංශයට තිබිය යුතුයි.සේවකයන්ව තලාපෙලා සේවය ලබා ගැනීම වෙනුවට මානව හිතවාදී මානුෂීය ක්‍රියා පිළිවෙත තුළින් මානව සම්පත තෘප්තිමත් කොට ඔවුන්ගේ හෘදයාංගම සේවයක් තමන්ගේ ආයතනයට ලබා ගැනීම යහපත් ව්‍යවසායකයන්ගේ සම්ප්‍රදාය බවට පත් විය යුතුයි.ආයතනීය  සේවක තෘප්තිය ඉහළ යෑම තුළින් එම ආයතනය ඵලදායිතාවය ඉහළ යෑම සිදුවන නිසා ඒ පිළිබඳ සිතා කටයුතු කිරීම යහපත් හාම්පුතුන්ගේ ලක්ෂණයක්.අද අපේ රටේ ව්‍යාපාරික සමාජය තුළ මෙම පරිවර්තනය ඇතිවිය යුතුයි.

රුපියල් මිලියන ගණනින් ලාභ උපයන ව්‍යාපාරිකයන් සහ ආයතනවලින්  ඔවුන්ගේ සේවකයන්ට රුපියල් පනහක දීමනාව ලබාදීමට තමන් කළ ඉල්ලීමට එම සමාගම් එකඟ එකග නොවූ බවත්, ඔවුන් මේ උපයන මුදල් මිය යන විට රැගෙන යනවාද යන්න තමන්ට ප්‍රශ්නයක් බවත්⁣ අමාත්‍යවරයා මෙහිදී පැවසීය .මේ සමාගම් තමන්ගේ සමාජ වගකීම  මඟ හැර ඇතැයි ද තමන් උපයන ධනය   නිවැරදි දර්ශනයක් මත සමාජයට වැඩදායී ආකාරයට වැය කිරීමේ සම්ප්‍රදාය අපේ රටේ කර්මාන්තකරුවන්ට හා ව්‍යාපාරිකයන්ට නොමැතිවීම කනගාටුවට කරුණක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම සමාජ වගකීම පිළිබඳ හැඟීම ව්‍යාපාරිකයා තුළ නීතියෙන් ඇති කළ නොහැක.එය ඔවුන්ගේ  හදවතේ ස්වයංව පැන නැගිය යුතු ව්‍යාපාරික සංවර්ධන සංකල්පයක් බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව බලන විට තමන්ගේ සමාජ වගකීම ඉතා හොඳින් තේරුම්ගත් රත්නපුර  ලිබර්ටි මෝටර්ස් ආයතනය තමන්ගේ පාරිභෝගික  සහකරුවන් සහ සේවකයන්ට මේ දක්වන ප්‍රසාද ප්‍රණාම පිරිනැමීම ද ප්‍රදේශය දිලිදු  පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම ද ප්‍රදේශයේ විහාරස්ථාන සහ පාසල් සංවර්ධනයට ඔවුන් ඉටු කරන සමාජ සේවා කාර්යභාරය  තමා ඉතාම  ඉහළින් අගය කරන බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

 මෙහි දී එම ආයතනය හා සම්බන්ධ මෝටර් කාර්මික ශිල්පීන්  දස දෙනෙකුට බැංකොක් සවාරි ද ගරාජ් කාර්මික ශිල්පීන් හැට දෙනෙකුට ද කාර්මික උපකරණ ,කාර්මික ශිල්පීන් 60 දෙනකුට රන් තිළිණ ද ආයතනීය  සේවකයන්ට ද   මූල්‍ය ත්‍යාග ප්‍රදානය කෙරිණ.

මෙම ත්‍යාග ප්‍රදාන උත්සවයට  සුළු අපනයන  බෝග සංවර්ධන අමාත්‍ය ජානක වක්කුඹුර  මහතා,අසේල නවරත්න සහ මුජිබර් රහමන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ලිබර්ටි මෝටර්ස් අධිපති මොහොමඩ් රවුෂාන් ලුතුෆි සහ අධ්‍යක්ෂ මොහොමඩ් රිස්වාන් ලුතුෆි යන අය ද සහභාගි වූහ.