ඉන්දන -ගෑස් මිල ඉහළ දැමීමට එරෙහි ධීවරයින් විරෝධතාවයක

ඉන්දන -ගෑස් මිල ඉහළ දැමීමට එරෙහි ධීවරයින් විරෝධතාවයක

ඉන්ධන, ගෑස් මිල ඉහළ යෑම නිසා ධීවර කර්මාන්තය කරගෙන යෑමට නොහැකි බවත් ඊට විසඳුම් දෙන ලෙස පවසමින්, බහු දින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් හා ධීවරයන් පිරිසක් පසුගියදා ධීවර අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී තිබේ.

පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදි ඉන්ධන මිල ඉහළයෑම මඟින් සමස්ත ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් එයට සාධාරණ විසඳුමක් නොලැබුණ හොත් ඉදිරි උත්සව සමයේ ජනතාවට පරිභෝජනයට අවශ්‍ය මසුන් තොග දිය නොහැකි බවත් උද්ඝෝෂණයේ නිරතව සිටි ධිවරයින් එහිදී සඳහන් කළේය.

උත්ඝෝෂණකරුවන් පැය කිහිපයක් අමාත්‍යාංශය අසල රැදී සිටි අතර මේ වන විට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා නිරෝධායනය වෙමින් යාපනයේ සිටින බැවින් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් වරයකු වන ස්ටාලින් මහතා උද්ඝෝෂණකරුවන් සමඟ සාකච්ඡා කළ අතර ඇමැතිවරයා ද ජංගම දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධ කරගනිමින් අදාළ ගැටලුව පිළිබඳ කරුණු විමසීය.

 උද්ඝෝෂණකරුවන් හා සම්බන්ධ වූ ධීවර ඇමැතිවරයා ඉන්ධන මිල ඉහළ යෑමේ ගැටලුව තමන් හොඳින් අවබෝධ කරගෙන සිටින බවත් තම නිරෝධායන කාලය හමාර වී සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ පසු ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් සමඟ සාකච්ඡා කර ධීවරයන්ට සහනයක් දීම කෙරෙහි අවධානය යොමු කරන බවත් පැවැසීය. එම වීශ්වාසය මත උද්ඝෝෂණය අතහැර දමන ලෙසද ඇමැතිවරයා මෙම පිරිසගෙන්ඉල්ලා සිටියේය.