වත්මන් අර්බුදය ගැන ලංකා බැංකු සේවක සංගමයෙන් නිවේදනයක්

CEYLON-BANK-EMPLOYEES-UNION

රට තුළ මතු වී ඇති අතිශය සංකීර්ණ තත්වය පිළිබඳව ගැඹුරින් සළකා බලමින් ලංකා බැංකු සේවක සංගමය පහත නිවේදනය නිකුත් කර සිටී.

වර්මානය වනවිට රටේ මහජනතාවට ජීවත්වීමට නොහැකි තරමට දරුණු බිඳවැටීම් දිගින් දිගටම සිදුවෙමින් පවතින අතර, ඒවා නිසි ලෙස කළමනාකරණය කරගැනීමට වත්මන් ආණ්ඩුවට නොහැකි බව ඉතා මැනවින් සනාථ වී තිබේ.

ඉන්ධන, ගෑස්, විදුලිය, ඖෂධ, ආහාරපාන වැනි ජනතාවට අතවශ්‍ය ද්‍රව්‍යය සැපයීමද ඉතිහාසයේ නොවූ විරූ ලෙස බිඳවැටී ඇති අතර, කාලයක් තිස්සේ අප්‍රමාණ පීඩනයකින් හෙම්බත් වී සිටින මෙරට පුරවැසියන් වගකිවයුත්තන්ට බල කිරීමට අරගල මාවතට කේන්ද්‍ර වී ඇත. එය ඉතා සාධාරණ ඉල්ලීමක් වන්නේ ආණ්ඩුවට කිසිදු සැලසුමක්, වැඩපිළිවෙලක් හෝ ජනතා ප්‍රශ්ණ පිලිබඳව කිසිදු හැඟීමක් හෝ තැකීමක් නොමැති බවට මැනවින් සනාථ වී ඇති පසුබිමකය.

ඒ අනූව වත්මන් ආණ්ඩුවට එරෙහිව ඉහළ යන මහජන මතයට ගරු කරමින්,

1.            කඩිනමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය.

2.            විෂය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ, උගත් හා බුද්ධිමත් පිරිසකගේද අධීක්‍ෂණය යටතේ භාරකාර ආණ්ඩුවක් පිහිටුවා මහ මැතිවරණයක් පැවැත්විය යුතුය.

3.            එම භාරකාර ආණ්ඩුවට කිසිදු මැදිහත්වීමක් ජනාධිපතිවරයා නොකළ යුතුය.

4.            20 වන ව්‍යස්ථා සංශෝධනය අහෝසි කොට 19 වන සංශෝධනය පාදක කර 21 වන ව්‍යවස්ථා සංශෝධනයක් කළයුතු අතර, එමඟින් ශක්තිමත්ව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර විධායක ජනාධිපති බලතල සීමා කළයුතුය.

5.            රාජ්‍ය ආයතන සඳහා පත් කර ඇති සියලු පත්කිරීම් වහාම අහෝසි කළයුතු අතර, භාරකාර ආණ්ඩුව එම ආයතනවලට සුදුසු පුද්ගලයින් කඩිනමින් පත්කළ යුතු වේ.

6.            රට යථා තත්වයට කඩිනමින් පත් කළ යුතු අතර, නීතියේ ආධිපත්‍යය යළි තහවුරු කළ යුතු අතර, මහ මැතිවරණය පවත්වා ආණ්ඩු බලය සාමකාමීව හුවමාරු කළ යුතුය.

7.            තවද භාරකාර ආණ්ඩුව විසින් ජනතාව පෙළන ආර්ථික ගැටළු සඳහා පිලිගත හැකි විසඳුම් කඩිනමින් ලබාදීමට වහා පියවර ගත යුතුය. 

ඉතිහාසයේදී මෙන් තවදුරටත් මහජනතාව රැවටීමට උත්සාහ නොකළ යුතු අතර, මෙවැනි මහජනතාවට පිළිගත හැකි විසඳුමක් ලබාදීමට වහාම පියවර ගත යුතු වේ. එවැනි මහජන එකඟතාවයකින් හෙබි සාධාරණ විසඳුමකින් මිස පැලැස්තර ඇලවීමෙන් රට පත්ව ඇති තත්වයෙන් ගොඩගත නොහැකි බව අවධාරණය කරමු.

ලංකා බැංකු සේවක සංගමය