අප්‍රේල් 7 සමස්ත සෞඛ්‍ය සේවයම අඩපණ වෙයි ද?

අප්‍රේල් 7 සමස්ත සෞඛ්‍ය සේවයම අඩපණ වෙයි ද?

රටේ උද්ගතවී ඇති ආර්ථික අර්බුදය ප්‍රතිඵලයක් ලෙස මේ වන විට රෝහල් පද්ධතිය තුළ ඇතිවී තිබෙන ඖෂධ හිඟය ශල්‍ය උපකරණ හිඟය රසායන ද්‍රව්‍ය හිඟය විදුලි බලය බිඳ වැටීම නිසා රාජකාරි පවත්වාගෙන යාමට පවතින බාධා ඇතුළු නිදහස් සෞඛ්‍ය සේවය පැවැත්ම වෙනුවෙන් වර්තමාන රාජ්‍ය පාලන ක්‍රමයේ අකාර්යක්ෂම සහ අක්‍රමවත්භාවය හේතු වී ඇති බව පවසමින් එයට විරෝධය පලකරමින් අප්‍රේල් මස හත් වන දින කොළඹ ජාතික රෝහල පරිශ්රයේ සිට සාමකාමී පාගමනක් සහ උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට වෛද්‍යවරුන්ගේ ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව තීරණය කොට ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබමින් විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරුන් බවට පත් වූ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ම මේ අවස්ථාව දී රටේ මහජනතාව වෙනුවෙන් පෙනී සිටීමට පාරිශුද්ධ වූ අයිතියක් ඇති බවත් මේ වන විට ක්‍රියාත්මක වන දේශපාලන යාන්ත්‍රණය, දූෂණ අක්‍රමිකතා සහිත සෞඛ්‍ය සේවයේ ඉහළ නිලධාරීවාදී යාන්ත්‍රණයද රට තුළ මිත්‍යාව ජනගත කල වියත් සංවිධානවල ක්‍රියාකාරීත්වය නිසා නිදහස් සෞඛ්‍ය සේවය බරපතළ ලෙස අනතුරට පත්ව ඇති බැවින් සමස්ත සෞඛ්ය සේවාව ආරක්ෂා කරගැනීමේ අරමුණ ඇතිව මහජනතාව වෙනුවෙන් පෙනී සිටීමට ශුද්ධ වු අයිතියක් ඇති වෛද්‍යවරුන් රටෙ පොදු මහජනතාව වෙනුවෙන් සිට ගනිමින් මෙම වෘත්තීය සමිති අරගලය ක්‍රියාත්මක වන බව එම කමිටුවේ සම කැඳවුම්කරු වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා කොළඹ ජාතික රෝහල් පරිශ්රයේ පැවති මෙම කමිටුවේ මාධ්‍ය හමුවේ දී පැවසුවේය

මෙම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍ය ජයන්ත බණ්ඩාර සමග වෛද්‍ය උපුල් ගුණසේකර වෛද්‍ය රුචිර පාදුක්ක වෛද්‍ය හිරාන් කරසිංහ වෛද්‍ය නිරෝෂන් ප්‍රේමරත්න ඇතුළු සමිති නායකත්වය දරන වෛද්‍යවරුන් ගණනාවක් ම සහභාගි වී සිටියහ.

අඛණ්ඩවම නිදහස් සෞඛ්‍ය සේවයට තර්ජන එල්ල වී පැවතීමත් මේ වෙනුවෙන් පොදු අරමුණක් වෙනුවෙන් මේ දක්වා සටන් කිරීමට වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාර නොමැතිවීමත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ඇතැම් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති දේශපාලන අරමුණු වෙනුවෙන් මිස රටේ පොදු මහජනතාව වෙනුවෙන් පෙනී නොසිටින පසුබිම මත මේ වන විට වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගරුත්වය සහ අභිමානය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බැවින් හැකි ඉක්මනින් සියලු වෛද්‍ය වෘත්තිකයින් නව නායකත්වයක් යටතේ රටේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කොට මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන පොදුජන අරගලවලට කොන්දේසි විරහිතව සහයෝගය ලබා දිය යුතු බවද මෙම මාධ්‍ය හමුවේ දී පැමිණි සිටි වෛද්‍යවරු පැවසූහ.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පැවසූයේ අප්‍රේල් මස 7 වනදා කොළඹ ජාතික රෝහල අසලින් ඇරඹෙන මෙම වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍ය සිසුන්ගේ ඒකාබද්ධ වෘත්තීය අරගලය සඳහා රටේ සමස්ත සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති වල සහයෝගය ලබා දෙන ලෙසත් තම තමන්ගේ ආයතන වල සිට වෘත්තීය සමිති තීරණයන්ට යටත්ව අදාළ සහයෝගය ලබා දීමට කටයුතු කරන ලෙසත් එසේම මෙම අවස්ථාවට සමස්ත රාජ්‍ය සේවයම සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති වලට තමන්ට හැකි පමණින් දායකත්වය ලබාදෙමින් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සඳහා ද මහජනතාව විසින් මහජනතාව උදෙසා මහජනතාව වෙනුවෙන් තෝරා පත්කර ගනු ලබන නව ජනතා බලවේගයක් සඳහා තම වෘත්තීය සමිති සන්ධානය කොන්දේසි විරහිතව කටයුතු කරමින් සිටින බවද පැවසුවේය.

අප්‍රේල් මස හත් වන තා කොළඹ ජාතික රෝහල අබියසින් නරඹන මෙම වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍ය සිසුන්ගේ ඒකාබද්ධ අරගලය සඳහා දිවයින පුරා විසිරී සිටින සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ට වෛද්‍යවරුන්ට දන්ත වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය සිසුන්ට කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙන ලෙස ද විවිධ වෘත්තීය සමිති අතර පවතින මතවාදයන් ඉවත ලා මේ මොහොතේ රට වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට සූදානම් වන ලෙස ද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

සියලු සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති නායකයින්ගෙන් කරනු ලබන ඉල්ලීමයි

සාධාරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී මහජන අරගලය බල ගන්වනු වස් ද නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගැනීම උදෙසා වෛද්‍යවරුන්ගේ ඒකාබද්ධ වෘත්තීය කමිටුව හා වෛද්‍ය සිසුන් අප්‍රේල් 07 වනදා කොළඹ ජාතික රෝහල අසලින් සවස 2 ට ආරම්භ කරන සාමකාමී පා ගමන සහ උද්ඝෝෂණ සංවිධානය කොට ඇත.

මෙම දිනයට සමගාමීව අනෙකුත් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති මෙම අරගලයට සහයෝගය ලබා දෙන ලෙසත් ඔබ වෘත්තීය සමිතිවලට අනන්‍ය වූ , අත්‍යවශ්‍ය රෝගී සත්කාරක සේවාවන් ට බාධා නොවන පරිදි එක්දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හරහා හෝ රෝහල් පද්ධතිය තුළ සේවය කරන ඔබ වෘත්තීය සමිති සාමාජිකයන් හරහා සෑම රෝහලක් ඉදිරිපිට ම කළු කොඩියක් ඔසවා හෝ රෝහල ඉදිරිපිට පවත්වන පොදු විරුද්ධතාවක් හරහා හෝ ඔබ වෘත්තීය සමිතිවලට අනන්‍ය පගේ වෘත්තීය සමිති අරගලය බලගන්වන තීරණයක් හරහා හෝ මේ සඳහා සහයෝගය ලබා දෙන ලෙස වෛද්‍යවරුන්ගේ ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව ඔබෙන් ඉල්ලා සිටිමු.

ඒත් මේ තීරණාත්මක අවස්ථාවේ දී අප සියලු දෙනාම පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව අප විශ්වාස කරන අතර ඔබ දක්වනු ලබන සහයෝගය අප ඉතා අගයකොට සලකන්නෙමු.

එසේම මෙම අරගලයට සමගාමීව අප්‍රේල් මස හත් වන දින දිවයිනේ සියළුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන සියළු වෘත්තීය සමිති තමන්ට අනන්‍ය වූ වෘත්තීය සමිති ව්‍යාපාරයක් හරහා මෙම එක්දින අරගලය ජයග්‍රහණයෙන් කෙළවර කිරීම සඳහා සහයෝගය දක්වන ලෙස ද වැඩිදුරටත් ඉල්ලා සිටිමු.