ඖෂධ හිඟය, ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ සෞඛ්‍ය ආධාර

mcpa

අප විසින් මීට සති කිහිපයකට පෙර රට තුළ දැඩි ඖෂධ හිඟයක් නිර්‍රමාණය විය හැකි බැවින් ඒ සඳහා කල් ඇතිව සූදානම් වන ලෙස දිගින් දිගටම අදාල දේශපාලකයින්ට සහ බලධාරීන් දැනුවත් කරනු ලැබුවද ඒ සම්බන්ධව නෑසූ කන් ව සිටි බලධාරීන් දැන් සෞඛ්‍ය ආධාර එවීම සඳහා විවිධ ලිපි ලේඛන නිකුත් කිරීම ගැන අප පුදුමයට පත් නොවෙමු. බොහෝ අවස්ථාවලදී අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් ක්‍රියාත්මක වන්නේ අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දැමීමේ ක්‍රම උපායට අනුව ය.

රට තුළ ඖෂධ හිඟයක් නිර්මාණය විය හැකි බවට මීට මාස කිහිපයකට පෙර සිටම වෘත්තීය සමිති සහ මාධ්‍ය දිගින් දිගටම දැනුවත් කරන අවස්ථාවකදී එවැනි තත්ත්වයක් ඇති නොවන බවට මාධ්‍ය  හරහා පැවසූ දේශපාලකයන් සහ සෞඛ්‍ය බලධාරීන්ට කනේ පහරක් එල්ල කරමින් දෛවයේ සරදමට මෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  ජනරාල්වරයා විසින් ම ඖෂධ හිඟයක්  සම්බන්ධව ද ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ බෙදාහැරීම භාර රාජ්‍ය අමාත්‍යාංශය මගින් ද සෞඛ්‍ය  ආධාර මෙරටට ගෙන්වීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ලිපි  නිකුත් කිරීම මගින් දැන් ඉතා පැහැදිලි ව දැකගත හැකි තත්ත්වයක් වන්නේ ඖෂධ හිඟයහි බැරෑරුම් කම ගැන වක්‍රකාරයෙන් සිදුකරන ප්‍රකාශ කරන ලියවිල්ලක් ලෙස අප විශ්වාස කරමු.

රට තුල නිර්‍රමාණය වෙමින් පවතින ඖෂධ හිඟය මුල් අවස්ථාව අප මේ දැන් දකින අතර මෙම තත්ත්වය ඉදිරි සති 06  සති 12 ත් අතර කාල සීමාවේදී බැරෑරුම් තත්ත්වයට පත්ව ඇති බැවින් ද එමගින් විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක  රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් රෝගාබාධ වැඩිවීම හෝ මරණයට පත්වීම සඳහා පැහැදිලි ඉඩකඩක් ඇති බවත් දැනටමත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුථ  විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන මඟින් නිකුත් කරන ලිපි මගින් ඉතා පැහැදිලිව සනාථ වෙයි.

සෞඛ්‍ය පද්ධතිය තුළ නිසි පරිදි සැපයුම් ජාලය පවත්වාගෙන යමින් මනුෂ්‍ය  ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත් වන අතර එය පැහැර හැරීම සාපරාධී මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමක් ලෙස ඉන්දියානු අධිකරණය අවස්ථා කිහිපයකදීම පෙන්වාදී ඇත.  මේ අවස්ථාවේදී ජනතාව ජනතා පරමාධිපත්‍ය  ක්‍රියාත්මක කිරීමට පසුබට නොවී තම තමන්ගේ රෝහල් පද්ධතිය තුළ යම්කිසි ඖෂධයක් හෝ ශල්‍ය  උපකරණ නොමැති වීම නිසා තමන්ගේ හෝ තම පවුලේ ඥාතීන්ගේ ජීවිතවලට අවදානම් සහගත තත්ත්වයක් නිර්‍රමාණය වන අවස්ථාවල දී පොලීසිය හෝ අධිකරණයේ පිහිට පැතීම හරහ සාපරාධී මනුෂ්‍ය ඝාතනයන්ට තැත්  කිරීමේ චෝදනාව යටතේ අදාල දේශපාලකයන් හෝ බලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට මහජනතාව උත්සුක විය යුතුව ඇත.

මේ අන්දමට මහජනතාව තම ජනතා පරමාධිපත්‍ය  නීත්‍යානුකූල ලෙස ක්‍රියාත්මක වීමට පෙළඹෙන්නේ නම්  දේශපාලකයන් හෝ බලධාරීන් හෝ අත්තනෝමතික ලෙස සහ අවිධිමත් ලෙස තීන්දු තීරණ ලබාගනිමින් ජනතාවගේ ජීවිත අනතුරේ හෙළීමට කටයුතු නොකරනු ඇත.  එබැවින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද සහයෝගය ඇතිව මේ රටේ මහජනතාව තමන්ට සෞඛ්‍ය පද්ධතිය තුළ අසාධාරණයට ලක්වන අවස්ථා වල දී නීතිය හමුවට ගොසින් වර්‍රතමාන සමාජ ක්‍රමය වෙනස් කිරීමට දායක වන ලෙස වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස අප මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

මේ අසීරු අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට සෞඛ්‍ය ආධාර මුදලින් ගෙවීම සඳහා විවිධ දේශීය සහ විදේශීය පුද්ගලයන් උත්සුක වන නමුත එවන මුදල් විගනනයට  ලක් කළ හැකි ක්‍රමයක් මහ බැංකුව මගින් පාලනය වන ස්වාධීන භාරකාර මණ්ඩලයක් හරහා මඟපෙන්වීම සහ පහසුකම් සලසන ලෙස මහ බැංකු අධිපතිතුමාගෙන්   ඉල්ලා සිටිමු.

මීට පෙර අවස්ථා ගණනාවකදීම ආපදා  අවස්ථාවන් වලදීය ශ්‍රී ලංකාවට එවන ලද විදේශාධාර අව භාවිතා වූ බවට සහ මහජනතාවගෙන් වැඩි ප්‍රමාණයකට ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වූ බවට චෝදනා එල්ල වීම මීට හේතුවයි.  එම තත්ත්වයෙන් මින් ඉදිරියට සිදු නොවීම සඳහා මෙම සෞඛ්‍ය  හදිසි තත්ත්වයක් පවතින අවස්ථාවලදී අදාළ ස්වාධීන විගණනය කළ හැකි භාරකාර මණ්ඩලයක් පිහිටුවා මෙම කාර්යය සඳහා තම දායකත්වය ලබා දෙන ලෙස මහ බැංකු අධිපතිතුමාගේ වෛද්‍ය ඉල්ලා අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය  ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය