ගාලුමුවදොර අරගලය මර්ධනය කළහොත් වෘත්තීය සමිති අනතුරු අඟවයි

gotagogama

ගාලු මුවදොර පිටියේ තරුණ උද්ඝෝෂණය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා සෑම උත්සාහයක්ම හෙළා දකින බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඊයේ උදෑසන (16) දින  ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ පොලිස් ට්‍රක් රථ කිහිපයක් නවතා තැබීම, දින 07 ක් පුරා ගාලු මුවදොර පිටියේ ඉතා සාමකාමී ලෙස තරුණ පිරිස් පවත්වා ගෙන යන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය මර්දනය කිරීමට ආණ්ඩුව සැළසුම් කරන බව ප්‍රදර්ශනය කෙරුණකි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිල වශයෙන්ම සහ තවත් සංවිධාන කිහිපයක් ආණ්ඩුවේ මෙම මර්දනකාරී පියවරට වහා විරෝධය පල කිරීම නිසා එම පොලිස් ට්‍රක් රථ ඉවත්කරගෙන ඇති බව පසුව දැන ගන්නට ලැබිණ.

සියලු පුරවැසියනට තනිව හා සාමුහිකව සාමකාමී ලෙස අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය, තමන් දිවි හිමියෙන් ආරක්ෂා කිරීමට බැඳි සිටින්නේ යැයි පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති දිවුරුම් දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අඩංගු මූලික අයිතියකි. ඒ අයිතිය භාවිත කරන්නේ කුමන ආකාරයෙන්ද යන්න තීන්දු කරන්නේ එසේ අදහස් ප්‍රකාශ කිරීමට සහභාගීවන පුරවැසියන් ය. එය විරෝධයක් ලෙස ඉදිරිපත් කිරීමටත් ඔවුන්ට අයිතියක් ඇත. ඡන්දයෙන් පත් කරනු ලැබු ආණ්ඩුවකට එහි ක්‍රියාකාරීත්වය ජනතා විරෝධී යැයි සහ එනිසා එයට ඉල්ලා අස්වන්නට යැයි කීමේ අයිතිය ද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියකි.

එනිසා ගාලු මුවදොර පිටියේ ගොනුවන ආණ්ඩු විරෝධය මර්දනය කිරීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බැවින් එය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා සියලු පියවර නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය කොන්දේසි විරහිතව හෙළා දකින අතර ආණ්ඩුව එවැනි මර්දනාකාරී පියවර ඉදිරියේදී ගතහොත් ඊට පූර්ණ ලෙස විරුද්ධ වන්නට සියලු වෘත්තීය සමිති සහ ජන සංවිධාන සාමුහිකව ඉදිරිපත් විය යුතු යැයි අපි ඉල්ලා සිටිමු.