සාමකාමි විරෝධතාව වලට පහරදීම පිළිබඳ මානව හිමිකම් කොමිසමට ලියයි

සාමකාමි විරෝධතාව වලට පහරදීම පිළිබඳ මානව හිමිකම් කොමිසමට ලියයි

සාමකාමී විරෝධතාවලට පොලිසියෙන් පහරදීම සම්බන්ධව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කරමින් කියා සිටින්නේ, මීට පෙර සිටි පොලිස් සහ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් මධ්‍යම රාත්‍රියේ වුවද දුරකතනවලට ප්‍රතිචාර දක්වමින් ජනමාධ්‍ය සමඟ සුහදශීලීව කටුයුතු කළද වර්තමාන පොලිස් සහ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් එලෙස කටයුතු නොකිරීම මගින් ජනමාධ්‍යවේදීන්හු දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂිපාත පරික්ෂණයක් සිදුකරන ලෙසත් ඉල්ලා සිටියි.

එම ලිපිය පහතින් දැක්වේ.

ගාලුමුවදොර දින ගණනාවක් තිස්සේ පැවැත්වෙන සාමකාමී විරෝධතාවය පලවා හැරීමට ආණ්ඩුව ගනිමින් සිටි නිර්දය උත්සාහයන් ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස වරින් වර ඔබට සහ ඔබ කොමිෂන් සභාවේ නිලධාරීන්ට අපි දැනුම් දුන්නෙමු.

ආණ්ඩුව තෙල් මිල වැඩි කර, ඊට එරෙහිව රට පුරා විරෝධතා පවත්වද්දී උපක්‍රම ශීලීව ආණ්ඩුවට සහ/හෝ ආරක්ෂක අංශවලට සම්බන්ධ පිරිස්ම උද්ඝෝෂණය ප්‍රචණ්ඩ තත්ත්වයට පත් කර, එය ප්‍රයෝජනයට ගනිමින් උපරිම බලය යොදා උද්ඝෝෂණ විසිරුවීමටත් ඉන් අනතුරුව ගාලුමුවදොර ද එසේ විය හැකි බව කියමින් එය විසිරුවීමට උත්සාහ කිරීමටත් සැලසුමක් ඇති බවත් (19) දින පෙරවරුවේදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඔබ කොමිෂන් සභාවේ නිලධාරීන්ට දැනුම් දුන්නෙමු. ඊට අමතරව ඊයේ උදෑසන පැවැති මාධ්‍ය හමුවකදී ද අපි ඒ ගැන අවධාරණය කළෙමු.

කෙසේ වෙතත් ඊයේ සවස් වන විට එය ඒ ආකාරයෙන්ම සිදු විය. ඊයේ සිදුවීම ආරම්භක ස්ථානයේ සිට වරින් වර ඔබ කොමිෂන් සභාවේ නිලධාරීන්ට ඒ ගැන දැනුම් දුන් අතර කොමිසමේ ක්ෂණික මැදිහත්වීම ඉතාම අගය කරන අතර මෙහිදී පොලිසිය පාර්ශ්වයෙන් සහ ආණ්ඩුව පාර්ශ්වයෙන් කරන්නේ පුරවැසියන් නොමඟ යවන සහ තව තවත් කුපිතකරවන ආකාරයේ ප්‍රකාශ වන බැවින් ඊයේ රඹුක්කන සිදුවීම ගැන සැකෙවින් මෙසේ කරුණු ඉදිරිපත් කරමු.

සභාපතිතුමියනි,

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටදී පැවැති විරෝධතාවය ද අප මීට පෙර දැනුම් දුන් පරිදිම සාමකාමී විරෝධතාවක් වූ අතර එය ප්‍රචණ්ඩ තත්ත්වයට පත් වූයේ සිවිල් ඇඳුමෙන් පැමිණි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ සහ ආණ්ඩුවේ පිරිසකගේ ක්‍රියාකාරිත්වය නිසාය. එම විරෝධතාවයේදී හමුදා බස් රථය ගිනි තැබීම ඇතුළු ප්‍රචණ්ඩ කාරී ක්‍රියා සිදු කරනු ලැබුවේ ආණ්ඩුව සහ/හෝ ආණ්ඩුවට සම්බන්ධ පිරිස් සහ/හෝ ආරක්ෂක අංශ විසිනි.

එම උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් ජනමාධ්‍යවේදීන් ඇතුළු පිරිස මිරිහාන පොලිසියට ගෙන ගොස් අප්‍රේල් පළමු වැනිදා අලුයම 3ට පමණ පහර දීම ආරම්භ වූ අවස්ථාවේම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මානව හිමිකම් කොමිසමට වාචිකව සහ ලිඛිතවත්, පොලිස්පතිට ලිඛිතවත් දැනුම් දුන් අතර වාචිකව දැනුම් දීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාට ඇමතුම් ගත්තද ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත. කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් පිරිස පසුදින උදෑසන 11 පමණ වනතුරු පොලිසියේ රඳවාගෙන පහර දුන් අතර ඔවුන් රෝහල් ගත කරනු ලැබුවේ ඔබ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පසුවය.

එදින උදෑසන මිරිහානේ වාර්තා සිදුවීම සොයා බැලීමට ගිය ජනමාධ්‍යවේදීන්ට ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන් බාධා කර තර්ජනය කරමින් මෙය ජාතිවාදී පැත්තකට තල්ලු කිරීම සඳහා නිවේදන නිකුත් කළ අතර තර්ජනය කිරීම් ගැන මිරිහාන පොලිසියට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කළත් අද වන තෙක් විමර්ශන සිදු කර නැත.

ආණ්ඩුව දිගින් දිගටම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහිමි කරන ප්‍රතිපත්තියක සිටිමින් කටයුතු කළ අතර ගාලු මුවදොර උද්ඝෝෂණය මර්දනය කිරීම සඳහා විවිධ උපක්‍රම යෙදුවද ඒ සියලුම ප්‍රයත්නයන් ව්‍යර්ථ විය.

සභාපතිතුමියනි,

රඹුක්කන වෙඩි තැබීම ඊයේ (19) වාර්තා වුවද, සිදුවීම්වාලාවේ ආරම්භය පෙරේදා (18) සිදුවීමකට ද සම්බන්ධිතය. ඉන්ධන ලබා ගැනීම සඳහා පෙරේදා සිට විශාල පිරිසක් පෝලිම්වල සිටි අතර තෙල් බවුසර පැමිණෙන බව දිගින් දිගටම කීවද තෙල් ලැබුණේ නැත. මෙම ඉන්ධන පිරවුම්හල සමූපාකාර සමිතියකට අයත් වුවද එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ආණ්ඩුවේ දේශපාලනඥයකුගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු බව වාර්තා විය. ජනතාව තෙල් පොලිමේ සිටියදී රාත්‍රියේදී තෙල් මිල වැඩි විය.

පසුදින එනම් ඊයේ දිනයේද ප්‍රදේශවාසීන් රැසක් පෝලිම්වල සිටි අතර සවස්වරුවේ පැමිණි බවුසරයේ ඉන්ධන තිබුණේ ඉතාම සුළු ප්‍රමාණයක් බව ඔවුන් විසින්ම ප්‍රකාශ කළේය. මේ අතරතුර උද්ඝෝෂණ ස්ථානයෙන් ඈතට වන්නට තිබූ ත්‍රීරෝද රථයක් ගිනි තැබූ අතර වීඩියෝපටවල උද්ඝෝෂකයන් ප්‍රකාශ කරන පරිදි එය ගිනි තබා ඇත්තේ ආරක්ෂක අංශයේ හෝ ආණ්ඩුවට සම්බන්ධ පිරිසකි. එම වීඩියෝ පටය ඔබ කොමිෂන් සභාවට එවා තිබේ.

එය ද පාදක කර ගනිමින් පොලිසිය වෙඩි තැබීම ආරම්භ කළ අතර උද්ඝෝෂකයන්ට පහර දෙන ලෙස අදාල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වන මේ ආණ්ඩුවට හිතවත් සහ මේ ආණ්ඩුව හරහා දේශපාලන පගිගැනීම් ලැයිස්තුවලට නම් දා ගත් පොලිස් නිලධාරියා ප්‍රකාශ කරන වීඩියෝපටයක් අප වෙත ලැබී ඇති අතර මේ වන විටත් එම වීඩියෝව ඔබ කොමිෂන් සභාවට ලබා දී තිබේ.

පොලිසිය/ආරක්ෂක අංශ අතුරු පාරවල්වල පන්න පන්නා වෙඩි තැබීය. වෙඩි තැබීමෙන් පසු තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට ප්‍රමාධ කළේය. ඊට අදාල වීඩියෝපටද මේ වන විටත් අප විසින් ඔබ කොමිසමට ලබා දී ඇත.

පළමු වෙඩි තැබීමෙන් පැයකට පමණ පසු දෙවැනි වෙඩි තැබීමද වාර්තා විය. දෙවැනි වෙඩි තැබීම අවස්ථාවේ අප විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවට සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්ට දුරකතනයෙන් ඒ බව දැනුම් දුන්නෙමු. පොලිස්පතිවරයාට මේ ගැන දැනුම් දෙන්නට ඇමතුම් ගත්තද ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වූ අතර ඔහුට එස්.එම්.එස් පණිවුඩයක් මගින් දැනුම් දුන්නෙමු. නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්වරයා දෙවැනිවර වෙඩි තැබීම ප්‍රතික්ෂේප කළේය. ඔහු එය ප්‍රතික්ෂේප කළ ද මුල් වෙඩි තැබීමෙන් පසු තවත් වෙඩි තැබීම් වාර්තා විය.

වෙඩි තැබීම්වලින් පසු බැට්න් පොලුවලින් පහර දුන් අතර රැකියාවට ගොස් එමින් සිටි පිරිස පවා පහරකෑමට ලක් වූහ. ප්‍රදේශයේ විදුලියද විසන්ධි කර තිබුණු අතර මධ්‍යම රාත්‍රිය වන තුරු විශාල පිරිසක් නිවාසවලට යෑමට නොහැකි පරිදි කොටුවී සිටියහ.

සභාපතිතුමියනි,

රටේ පවතින බරපතල තත්ත්වය හමුවේ රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍ය ප්‍රකාශකලා සිය ජංගම දුරකතනවලට ප්‍රතිචාර දැක්විය යුතු වුවද, පොලිස්පති චන්දන වික්‍රමරත්න, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සහ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අප විසින් ලබා ගන්නා ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන්නේ නැත. තල්දූව මහතා ඉතාම කලාතුරකින් ප්‍රතිචාර දැක්වුවද ඔහුට යමක් දැනුම් දුන් පසු සහ/හෝ විමසූ පසු ඔහු දුරකතනය මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට ඩයිවර්ඩ් කර තැබීම හෝ දුරකතනයට ප්‍රතිචාර දැක්වීම සිදු නොකරයි.

ඇතැම්විට මේ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ඉතාම පහත් තැනක තිබෙන බැවින් මාධ්‍ය ප්‍රකාශකලාට පිළිතුරු ලබාදීමට නොහැකි තත්ත්වයක් තිබිය හැකිය. එසේ නම් කළ යුත්තේ ඔවුන් අදාල තනතුරුවලින් ඉල්ලා අස්වීම විනා නිල ජංගම දුරකතනවලට ප්‍රතිචාර නොදැක්වීම නොවේ. ඔවුන් ඔවුන්ගේ පාර්ශ්වයේ කරුණු නිවේදනයක් මගින් සිදුවීමෙන් බොහෝ වේලාවකට පසු එවූවද එය ඒක පාර්ශ්වික නිවේදන වේ.

හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අපගේ දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වුවද ඔහු ඔහුගේ රාජකාරි අංකයෙන් උද්ඝෝෂණවලට විරුද්ධ බොහෝ දෑ වට්ස්ඇප් හරහා ඇතැම් ගෘප්වලට මුදා හරිමින් සිටිති. ඊට අදාල ස්ක්‍රීන්ෂොට්ස් ඉදිරියේදී කොමිසමට ලබාදීමට කටයුතු කරමු.

මීට පෙර සිටි පොලිස් සහ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් මධ්‍යම රාත්‍රියේ වුවද දුරකතනවලට ප්‍රතිචාර දක්වමින් ජනමාධ්‍ය සමඟ සුහදශීලීව කටුයුතු කළද වර්තමාන පොලිස් සහ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් එලෙස කටයුතු නොකිරීම මගින් ජනමාධ්‍යවේදීන්හු දැඩි අපහසුතාවට පත්ව සිටිති.

සභාපතිතුමියනි,

රඹුක්කන සිදුවීමෙන් පසු පොලිස්පතිවරයා සහ නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රකාශයක් පොලිස් මාධ්‍ය අංශය ඊයේ රාත්‍රී ජනමාධ්‍යට මුදා හැරි අතර එහිදී පොලිස්පතිවරයා ප්‍රකාශ කරන්නේ සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු වේ. උද්ඝෝෂකයන් සහ තුවාලකරුවන් කළහකාරීන් ලෙස හඳුන්වමින් පොලිස්පති සහ නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම් ප්‍රකාශ නිකුත් කිරීම බරපතල තත්ත්වයකි. ඔවුන් දෙදෙනා ව්‍යාජ ප්‍රකාශ සිදු කරන ගමන් මේ ගැන විමර්ශනයක් සිදු කරන බව ද කීහ. සිද්ධිය ගැන ව්‍යාජ ප්‍රකාශ සිදුකරන ඔවුන් විසින්ම අධීක්ෂණය කරන විමර්ශනවලින් කිසිම සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකිය.

මෙම ප්‍රහාරය සැලසුම් සහගත ප්‍රහාරයක් බව අපි අවධාරණය කරමු. මෙම ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයත්, ශ්‍රී ලංකා පොලිසියත් භාර ගත යුතුබව අපගේ ස්ථාවරයයි.

එබැවින් අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් මේ සම්බන්ධයෙන් සිදු කරන ලෙස ඉල්ලා සිටිමු. ආණ්ඩුව අයිතිවාසිකම් මර්දනය කරන ආකාරය ගැන අප විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට කළ පැමිණිල්ලේ පිටපතක්ද මේ සමඟ ඇත.