මර්දනය සාධාරණීකරණය කිරීමේ ඛේදවාචකය !

මර්දනය සාධාරණීකරණය කිරීමේ ඛේදවාචකය !
"කන්න දීලා, බොන්න දීලා, බෙහෙත් දීලා, එන්නත් කරවලා ජනතාව ජීවත් කෙරෙව්වෙ, කඳුළු ගෑස් වෙඩි උණ්ඩවලට බිලි වෙන්න නෙවෙයි." පසුගිය 11 වන දා ජාතිය අමතා අගමැතිවරයා අනියමයෙන් ජනතාවට තර්ජනය කළේය. එය නිකන් ම නිකන් තර්ජනයක් පමණක් නොව මරණීය තර්ජනයක් බව, පසු ගිය දා ආණ්ඩුවේ පොලිස් මැරයන් සිය තුවක්කු බට හරහා රඹුක්කන දී ඔප්පු කළේ ය. එහි දී අයෙකු මිය ගිය අතර තවත් පිරිසක් රෝහල් ගත කෙරෙණි. නමුත් මිනීමරු ආණ්ඩුවට ඒ ගැන වගේ වගක් නැත. එදා ,රතුපස්වල (2013) දී අකිල දිනේශ්, රවිශාන් පෙරේරා, නිලන්ත පුෂ්පකුමාර ආදී තරුණයෝ මෙන් ම කටුනායක (2011) දී ඇඟලුම් කම්කරුවකු වූ රොශේන් චානක ද මීගමුවේ (2012) ධීවරයෙකු වූ ඇන්ටනී ප්‍රනාන්දු වෙඩි තබා ඝාතනය කළේ ය. ඒ විතරක් නොව විශ්වවිද්‍යාල සිසුන් වූ ජනක බණ්ඩාර සහ සිසිත ප්‍රියංකර යන සිසුන් දෙදෙනා ඉඹුල්ගොඩ දී අභිරහස් ලෙස රිය අනතුරකට ලක් කොට මරා දැමීය. මේ 2005 - 2015 රාජපක්ෂ ආණ්ඩුවේ ජන අරගල මර්දනය කිරීමේ ඝාතන ලැයිස්තුවේ කොටසකි. නමුත් මේ රාජපක්ෂලාගේ ආණ්ඩුවේ ඝාතන සහ අතුරුදන් කිරීම්වල මුළු ලැයිස්තුව නොවේ. මෙරට ජනතාවගේ දෛවයේ සරදමකට මෙන් එදා අණ දෙන්නා සහ ඝාතකයා යැයි කිවූ දෙබෑයන් ම මෙදා රටේ මහ පුටු දෙකෙහි ම අසුන් ගෙන සිටී. ඉඳින් යලිදු මේ නැග එන්නේ රාජපක්ෂ අපරාධ රාජ්‍යය හැර අන් කවරක් ද?
 
මර්දනයේ නවතම ස්වරූපය
 
නමුත් ආණ්ඩුවට මෙවර ඔවුන්ගේ මර්දනීය ක්‍රමවේදය එදාට වඩා වෙනස් කිරීමට සිදුව ඇත. එයට හේතුව ගෝඨාභය රාජපක්ෂ පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යැවීමේ #GoHomeGota අරගලය ඉහළ ජන සහභාගීත්වයක් සහිත සහ ඉතා සාමකාමී එකක් වීමයි. නමුත් රාජපක්ෂ ආණ්ඩුව කූට උපක්‍රම අටවමින් වෙනත් වටයකින් මර්දනය පිණිස එන බවක් පෙනේ. එහි මුලාරම්භය පසුගිය මාර්තු 31 වන දා ජනධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවේ දී දිස් විය. එහි දී කලහකාරී ලෙස හැසිරී හමුදාව සහ පොලීසිය බලා සිටිද්දී ම හමුදාවට අයත් බස් රථයක් ගිනි තැබුවේ උද්ඝෝෂකයන් නොවූ පාර්ෂවයක් විසින් බව පසුව අනාවරණය විය. නමුත් පසුදා ජනාධිපති මාධ්‍ය ඒකකය පසුදා උදෑසන ම මෙය අන්තවාදී ක්‍රියාවකැයි නිවේදනය කළේය. ආණ්ඩුව පුරුදු පරිද්දෙන් ජාතිවාදය හා ආගම්වාදයේ එල්ලී ජන අරගලය තිඹිරිගෙයි ම ඝාතනය කිරීමට තැත් කළත්, මෙදා පොටේ ජනතාව ආණ්ඩුවේ ගැටයට හසු නොවී ය. එතැනින් නොනැවතුණු ආණ්ඩුව රඹුක්කන දී ජීවිතයක් බිලි ගත්තේ ද ආණ්ඩුවේ කුලී හේවායන් වූ පොලීසියේ හා වෙනත් මැර පිරිස්වල උපකාරයෙනි. ඊට අමතරව උද්ඝෝෂණ පැවැත්වෙන සෑම තැනකම උද්ඝෝෂණයන් ප්‍රචණ්ඩත්වය වෙත තල්ලු කිරීමට ආණ්ඩුව මාන බලමින් ඉන්නේ හමුදාවේ හෝ පොලීසියේ සහය ඇතුව මෙම ජන අරගලය බිමට ම සමතලා කිරීමේ අරමුණෙනි. නමුත් තවමත් ආණ්ඩුවට එසේ කර ගත නොහැකි විය. එහිදී ද අන් සියලු තැනක මෙන් ම ජනාධිපතිවරයා ඇතුළු මේ නඩය ෆේල් විය.
 
සාධාරණීකරණය
 
මේ සියලු තත්ත්වයන් හමුවේ දිගින් දිගට ම අසමත් වන ආණ්ඩුව රජයේ මාධ්‍ය හා රජයට පක්ෂපාතී පුද්ගලික මාධ්‍ය යොදා ගනිමින් එම මිනී මැරුම් සාධාරණීකරණය කිරීමට උත්සහ දරණු පෙනේ. එහි විශාල කාර්යයක් රජය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරනු ලබයි. ඒ අනුව රඹුක්කන දී ඝාතනය වූ තරුණයාට එරෙහිව නඩු පවතිනවා වැනි කතා කියමින් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඝාතනයේ සැර බාල කිරීමට කටයුතු කරනු කළේ ය. මෙහි දී අපට මතු වන ප්‍රශ්නය නම් නඩු කටයුතු පවතින තැනැත්තෙකු ඝාතනය කිරීම සාධාරණීකරණයට පොලීසියට ඇති නෛතික හා ආචාර්ධර්මීය අයිතිය කෙබඳු එකක් ද කියා ය. මන් ද මරණ දණ්ඩනයට නියම වූ ආණ්ඩුවේ හිතවාදින් නිදොස් කොට නිදහහස් කරන රටක, දූෂණ-වංචාවලට චෝදනා කරන ලද රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ හිතවාදීන් නිදොස් කොට නිදහස් කෙරෙන රටක, නඩු තිස් අටක් ඇති ජනාධිපතිවරයෙකු පාලන කටයුතු කරන රටක, විරෝධය පෑමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිය මූලික අයිතිවාසිකමක් ලෙස දිනා ඇති පුරවැසියෙකු ඝාතනය කොට ; එකී අපරාධය සාධාරණය කිරීම සඳහා මෙවැනි පන්නයේ ප්‍රකාශයන් නිකුත් කිරීම පොලීසියකට කෙටරම් ගැලපෙනවා ද යන ගැටලුව මතු වේ.
 
ඒ අතරවාරයේ, මිනිසුන්ට උහුලාගත නොහැකි ජීවන පීඩාවන් කර මත පටවා ඔවුන් තලා පෙලා දැමූ ආණ්ඩුව ම, ඊට එරෙහිව හඬ නගන පිරිස් වෙත මරණය දක්වා වූ සියලු ම ආකාරයෙන් මර්දනයන් මුදා හැරීමට ක්‍රියා කිරීම මෙරට පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව රජයට ඇති වග වීමේ ප්‍රමාණය ප්‍රදර්ශනය කරන්නේ ය. එනම් මේ අනුව පෙනී යන්නේ, ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව අපව ගෙන යන්නේ කිසිදු පුරවැසි අයිතිවාසිකමක් නැති රාජ්‍යයකට ද යන බිය දැනේ. එනිසාවෙන් පාලකයන් විසින් යලිදු අපරාධ රාජ්‍යයකට මෙරට කැඳවාගෙන යාමේ උත්සහය ජන අරගලය තුළින් සාමූහිකව පරාජය කළ යුතු වෙයි.
 
-ප්‍රොටෙක්ට් සංගමය-