තැපෑල සහ දුම්රිය 28 වර්ජනයට එක්වෙයි!

තැපෑල සහ දුම්රිය 28 වර්ජනයට එක්වෙයි!
ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් වන ලෙස බලකරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාව මේ මස 28 වැනිදා ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනයට තැපැල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික සහ විධායක නිලධාරීන් සහයෝගය දක්වන බව ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය පවසයි.
 
මහජනතාව පක්‍ෂ, පාට, ජාති සහ ආගම් බේද පසෙකලා කුසගින්න වෙනුවෙන් ආරම්භ කර ඇති ජීවත්වීමේ අරගලයට සහය දක්වන බව ද ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චම්පික පෙරේරා මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.
 
මේ අතර ආණ්ඩුවට එරෙහිව ගෙන යන ජනතා විරෝධයට සහාය දැක්වීම සඳහා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය මේ මස 27 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට 28 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
 
මෙම සංකේත වැඩවර්ජනයට දුම්රිය ප්‍රධාන වෘත්තිය සමිති ඇතුළු වෘත්තීය සමිති තිහකට වැඩි සංඛ්‍යාවක් එකතුව සිටී.