අරගලය ශක්තිමත් කරන කම්කරු දිනයක්

අරගලය ශක්තිමත් කරන කම්කරු දිනයක්

පාලකයින් අනුගමනය කළ 74 වසරක් තිස්සේ පවත්වාගෙන ආ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය තව දුරටත් ඉදිරියට ගෙන යන අතරම රට හොර ගුහාවක් බවට පත්කිරීමේ ප්‍රධාන වග උත්තරකරුවෝ මොවුන්ය. රාජපක්‍ෂවරුන්ගේ මුග්ධ හා අදූරදර්ශී පාලනය තුළ උද්ධච්ඡ කමින් ආ ගමනේ ප්‍රතිඵල අද ජනතාව භුක්ති විඳින්නේ පෝලිම්වල මැරී වැටෙමින් සිටින තත්ත්වයක් තුළ මෙවර මැයි දිනය සැමරීමට සිදුව ඇතැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ජාත්‍යන්තර කම්කරු දිනය වැඩ කරන ජනතාවට උරුම වන්නේ පැය අටක වැඩ දිනයක් ඉල්ලා කළ අරගලය සැමරුම පිණිස ගෙන ආ යෝජනාවක ප්‍රතිඵලයක් ලෙසටය. ඒ අනුව වැඩ කරන ජනතාවට හිමි මේ ගෞරවනීය දිනයේ උපත අරගලයම වේ.

133 වන ජාත්‍යන්තර කම්කරු දිනය සමරන විට සමස්ත ලාංකීය භූමියම අරගල භූමියක් බවට පත්ව ඇත. ඊට හේතු කාරණා වෙනදා මෙන් එකින් එක පැහැදිලි කළ යුතු නොවේ. සියලූ දෙනාගේ ජීවිත තුළටම කිඳාබැස සම්, මස්, ඇට, නහර විනිවිද දැනෙන ආර්ථික අර්බුදය තවදුරටත් විඳදරා ගත හැකි තැනක ජනතාව නැත. අරගලයේ උපතේ හේතු කාරණාව එයයි.

මේ දක්නට ඇත්තේ අද ඊයේ සිට ඇරඹි අර්බුදයක් නොව දිගු කාලයක් තිස්සේ වර්ධනය වෙමින් ආ අර්බුදයේ තර්කානුකූල වෙනසකි. එය ගුණාත්මක වෙනසක් ලෙස ද අර්ථ ගැන්විය හැකිය. මෙම ගුණාත්මක වෙනස දක්වා ආ ගමනට මෙතෙක් මෙරට පාලනය කළ සියළු පාලක කණ්ඩායම් වගකිවයුතු අතර, කිසිවෙකුටත් එයින් මිදීමේ හැකියාවක් නොමැත. ඒ අතර මෙතරම් වේගයකින් රටත්, ජනතාවත්, මුළුමහත් සමාජයත් අවුලෙන් අවුලට ඇද වැට්ටවීමේ ඛේදවාචකයේ වගකීමේ වැඩි පංගුවක් රාජපක්‍ෂවරු ප‍්‍රමුඛ වත්මන් පාලකයින් විසින් භාරගත යුතුය.

පොදුවේ මෙතෙක් පාලකයින් අනුගමනය කළ 74 වසරක් තිස්සේ පවත්වාගෙන ආ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය තව දුරටත් ඉදිරියට ගෙන යන අතරම රට හොර ගුහාවක් බවට පත්කිරීමේ ප්‍රධාන වග උත්තරකරුවෝ මොවුන්ය. රාජපක්‍ෂවරුන්ගේ මුග්ධ හා අදූරදර්ශී පාලනය තුළ උද්ධච්ඡ කමින් ආ ගමනේ ප්‍රතිඵල අද ජනතාව භුක්ති විඳින්නේ පෝලිම්වල මැරී වැටෙමිනි.

මෙම තත්ත්වය දුර සිට දකිමින් අප කරුණු ඉදිරිපත් කළද, පාලකයින්ගේ කෛරාටික දේශපාලන උගුලේ ජනතාව ඇද වැටුණේ මුළු මහත් රටත් ජනතාවත් විපතට ඇද දමමිනි. දේශපාලන ව්‍යාපාරයක් ලෙසත්, වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙසත් මුල් අවධියේදීම මේ පිළිබඳව විවේචනය අප ඉදිරිපත් කරන විට එය පිළිගනු ලැබූයේ අතලොස්සකි. එහෙත් අප අරගලය අත්හළේ නැත. වැඩබිමක්, වීදියක්, ගමක්, නගරයක් පාසා අරගල කරන ජනතාවට සවිඥානිකත්වය, සටන්කාමීත්වය ලැබූණේ අපගේ අඛන්ඩ අරගලය තුලින් බව පවසන්නේ නිහතමානි සතුටකිනි.

මෙවන් තත්ත්වයක් තුළ මේ සුවිශේෂීවූ දිනයේ අපගේ කාර්යභාරය කුමක්ද? තවමත් රාජපක්ෂවරුන් බලය අත හැරීමේ සූදානමක් නැත. එනිසා රටට විනකරන මේ පාලක කණ්ඩායම සහ පාලන ක්‍රමය අහෝසි කිරීමේ අරගලය තවදුරටත් ශක්තිමත් කළයුතු වේ. වේගවත්ව, අඛණ්ඩව, වෙහෙස නොබලා ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගනිමින් එය ජයග්‍රහණය දක්වා රැගෙන යා යුතුව ඇත.

වැඩකරන පන්තිය ලෙස අපට එතැනින් නතර විය නොහැකිය. අපි අපගේ පන්තියට පක්ෂපාතී ව්‍යාපාරයකි. එනිසා 74 වසරක පාලන ශාපය නිමාකර වැඩකරන ජනතා බලයක් ගොඩනැගීම දක්වා අපගේ අරගලය දිගු විය යුතුය. ජයග්‍රහණය පූර්ණ ලෙස භුක්ති විඳිය හැක්කේ එම අරගලයද ජයග්‍රහණයෙන් කෙළවර වුවහොත් පමණි. ජයග්‍රහණයට අවශ්‍ය බොහෝ තත්ත්වයන් නිර්මාණයවී ඇත. දැන් අවශ්‍ය වන්නේ අපගේ සවිඥානික සක්‍රිය මැදිහත්වීමයි. එනිසා මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය, ආසන්න මෙන්ම දිගුකාලීන අරමුණද ජයග්‍රහණය කිරීමට ශක්තිය හා ධෛර්යය උකහා ගන්නා සටන්කාමී දිනයක් බවට පත්කර ගනිමු. එම අරමුණෙන් මෙවරද සමාජවාදී කම්කරු සංගමයේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු ක්ෂේත්‍ර නියෝජනය කරන සියළුම වෘත්තීය සමිති ජනතා විමුක්ති පෙරමුණේ  ”අරගලයේ” පෙළපාලියට සහ රතු මැයි රැළියට සම්බන්ධ වීමට තීරණය කළෙමු. එයට සහභාගී වන මෙන් සමස්ත වැඩකරන පන්තියට සහෝදරත්වයෙන් ආරාධනා කරමු.

අරගලයට ජය..!!!

ලාංකීය වැඩකරන පන්තියට ජය....!!!