බැංකු සේවකයින්ගේ මැයි දින රැළිය ස්ටැන්ලි ජෑන්ස් පිටියේ

බැංකු සේවකයින්ගේ මැයි දින රැළිය ස්ටැන්ලි ජෑන්ස් පිටියේ
ලංකා බැංකු සේවක සංගමයේ 2022 ජාත්‍යන්තර කම්කරු දින සැමරුමට අදාළ මැයි පෙළපාලිය පෙ.ව 11ට ලේක්හවුස් වටරවුම අසළින් ආරම්භ වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක පවසයි.
 
ඔහුගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක ඒ පිළිබඳ වැඩිවිස්තර දැක්වෙන්නේ මේ අයුරිනි.
 
ජාත්‍යන්තර කම්කරු දිනය මැයි 01 වනදා සමරනු ලබන්නේ, ඵෙතිහාසික පැය 08 ක වැඩමුරය දිනාගැනීම වෙනුවෙන් අදින් වසර 133ට පෙර ඇමරිකාවේ හේමාකට් චත්‍රරස්‍රයේ සිදුවූ කම්කරු සංහාරය සිහිපත් කරමින්ය. පුරා වසර 133 ක් පුරා මෙම දිනය කම්කරුවන්ගේ කාලීන ප්‍රශ්න පොදුවේ ප්‍රදර්ශනය කරන උද්ඝෝෂණාත්මක සැමරුම් දිනයක් ලෙස ක්‍රියාවට නැංවේ. මෙම සැමරීම ප්‍රධාන වශයෙන් වෘත්තීය සමිති සිදු කරනු ලැබුවේ කම්කරු පන්තියේ පොදු හැඟීමක් තුළ සකලවිධ පීඩිතයින්ගේ පොදු හඬක් ඉස්මතු වන ලෙසින්ය. 
 
මෙවර කම්කරු දිනය සැමරීම සිදුකරනු ලබන්නේ, රට තුළ ආර්ථික, දේශපාලනික හා සමාජයීය අර්බුදයක් පැනනැඟී ඇති වටපිටාවකය. 74 වසරක් පුරා පැවති රජයන් විසින් අනුගමනය කරන ලද වැරදි ආර්ථික හා දේශපාලනික ප්‍රතිපත්තිවල විපාකයන් හමුවේ බිඳවැටෙමින් පැවති රටේ ආර්ථිකය වත්මන් රජයේ අතිදුර්වල හා ජන පීඩක ආර්ථික හා දේශපාලනික ප්‍රතිපත්ති හේතුවෙන් මේ වන විට බරපතළ අර්බුදයකට ඇදදමා ඇත. ඒ හේතුවෙන්, ජීවන වියදම දැරිය නොහැකි මට්ටමකින් ඉහළ ගොස් ඇත. මේ හේතුවෙන්, සමස්ත කම්කරු පන්තියම දැඩි පීඩනයකට පත්ව ඇත. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම ගෑස්, ඛනිජ තෙල් හා අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල අතිවිශාල මිල ඉහළ යාම මෙන්ම, දැඩි හිඟතාවය හේතුවෙන් ජන ජීවිතය උඩු යටිකුරු කොට ඇත. 
 
මෙම දරුණු පීඩාකාරි තත්ත්වය යටතේ රටේ ආර්ථිකය යළි ගොඩනංවමින් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස බල කරමින්, රාජ්‍ය පාලනයෙහි ක්‍රම වෙනසක් උදෙසා ජනතා අරගලයක් නිර්මාණය වී ඇති අතර, එහි මූලික පියවර ලෙස වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට ජනතාව බලපෑම් කරමින් පවතී. 
 
ලංකා බැංකු සේවක සංගමය වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ගණනාවක් සමග සන්ධාන ගත වෙමින් ජන පීඩක ක්‍රමයට එරෙහිව වැඩ කරන පන්තියේ බලයන් ගොඩනැගීම වෙනුවෙන් අරගලයකට අවතීර්ණ වී ඇත.
 
එවන් වාතාවරණයක් යටතේ මෙවර මැයි දිනය සැමරීමද සිදුකරනු ලබන්නේ, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව ලෙසය. ජන පීඩක ආණ්ඩුවට ඉවත්වන ලෙසට බලකරමින් හා සමස්ත කම්කරු පන්තියේ ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ලෙසට බලකරමින් පැවැත්වෙන මෙම මැයි පෙළපාලිය  කොළඹ ලේක් හවුස් ආයතනය ඉදිරිපිටින් පෙ.ව.11.00 ට ආරම්භ වී ස්ටැන්ලි ජෑන්ස් පිටියේ පැවැත්වෙන මැයි රැලියෙන් අවසන් කරනු ලැබේ.