මෙවර මැයිදිනය වැඩකරන පංතියට පමණක්ම නෙවෙයි

මෙවර මැයිදිනය වැඩකරන පංතියට පමණක්ම නෙවෙයි
මෙවර මැයි දිනය වැඩකරන පංතියට පමණක් නොව, බිඳවැටුණු දේශය යළි ගොඩනගන්නට සහ ශ්‍රමයේ අතිරික්තය සාධාරණ ලෙස බෙදීයන  නව දේශපාලන ගමනක හැරවුම් ලක්ෂ්‍යක් වන බව තම විශ්වාසය යයි ජාතික ජනබලවේගය විසින් නිකුත් කළ මැයි දින පණිවිඩයේ සඳහන්ය.
 
එකී මැයිදින පණිවිඩය සම්පූර්ණයෙන් මෙසේය.
 
1886 දී, මැයි 1 වෙනිදා චිකාගෝ නුවර දී, එතෙක් පැවති පැය 12 ක වැඩ දිනය වෙනුවට විවේකය, තම පවුල ජීවිතය මෙන්ම සංස්කෘතික ජිවිතයක් ගත කිරීම සඳහා  පැය 8ක වැඩ දිනයක් ඉල්ලා කම්කරු පංතිය ආරම්භ කළ   සාමකාමි උද්ඝෝෂණය, ලෙයින් තෙත් කළ  පොලිස් වෙඩි තැබීම සිහි කැඳවන දිනය, වැඩකරන ජනතාවගේ දිනය ලෙස දෙවැනි කොමියුනිස්ට් ජාත්‍යාන්තරය විසින් 1889 දී  නම් කරන ලදි.  ඒ අනුව වැඩකරන ජනතාව පදනම් කරගත් මෙරට වාමාංශික ව්‍යාපාරය දියත් කල දිගුකාලීන සටන්වල ප්‍රතිඵලයක් ලෙස මැයි 1 වෙනිදා නිවාඩු දිනයක් බවට පත්කර ගැනීම, පැය  අටේ වැඩ දිනය මෙන්ම සේවක අර්ථසාධක මුදල ඇතුලු යහපත් සේවා කොන්දේසි දිනාගැනීමට අප රටේ වැඩකරන පංතිය සමත් විය.
 
කෙසේ නමුත් 1977 එජාපය හඳුන්වා දුන් ඊනියා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හා ඒ හා බැඳුණු ඒකාධිපති ස්වරූපයේ දේශපාලන ක්‍රමය තට්ටුමාරු ක්‍රමයට පවත්වාගෙන ගිය මෙරට පාලක පංතිය ඊනියා සංවර්ධනයේ නාමයෙන්     මෙරට කම්කරු පංතිය සටන්කර දිනාගත්  ඉහත කී   ඉල්ලීම් ඉතා සූක්ෂම ලෙස පැහැර ගනිමින් සිටී.  එපමණක් ද නොව, එහි තාර්කික අවසාන ප්‍රතිඵලය ලෙස   මෙවර මැයි දිනය අප සමරන්නේ  සියල්ල නිදහස් වෙළඳපොලට භාරදීමෙන් සංවර්ධනය ඇති කරගත හැකිය යන නව ලිබරල්වාදි මිත්‍යාව පටුපස ගොස් රට දූෂිත  රාජපක්ෂ පවුල් පාලනය විසින්  බංකොළොත් කරන ලද රටක ය. මේ වන විට සමස්ත ජනතාවම පංති, කුලමල , ජාති ආගම් භේදයක් නොමැතිව රාජපක්ෂ පවුල් පාලනය පලවා හැරීමට මහපාරට පැමිණ තිබේ. 
 
වැඩකරන ජනතාව පසුගිය 28 වෙනිදා සංකේත වැඩවර්ජනයක් සහිතව දූෂිත රාජපක්ෂ පවුල් පාලනය පලවා හැරීමට  ඉදිරියට පැමිණිම පිළිබඳව ජාතික ජනබලවේගයේ විශේෂ අවධානය යොමුවෙන අතරම එය  රාජපක්ෂ පාලනය පලවා හැරීමේ සටන   නව අදියරකට අවතීරණය වීමක් ලෙස අපි සළකමු. දූෂිත පවුල් පාලනය පලවා හැරීමෙන් පමණක් මේ රට වැටී ඇති  අගාධයෙන් ගොඩගත නොහැකිය. දූෂිත පාලක පංතියේ  නාස්තිකාර විදේශ ණය පියවීම සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරිම සඳහා   විදේශ විනිමය ඉපයීම, නිෂ්පාදනය වැඩිකර ගැනීම සඳහා වෙනත් සමාජ පංතීන්ට නොදෙවෙනි කාර්යභාරයක් පැවරෙන්නේ වැඩකරන ජනතාවගේ කරමත ය. මෙ රට බංකොලොත් නොවී පැවතුනේ  ප්‍රධාන වශයෙන් මැද පෙරදිග සේවයේ නියුතු  ශ්‍රමිකයින්, ඇගලුම් සේවක සේවිකාවන්, වතුකරයේ ශ්‍රමිකයින් සාධාරණ වැටුපක් පවා නොලබා ලබාදුන් දායකත්වය නිසා බව දැන්  මොනවට පැහැදිළිය. මෙතරම් විශාල ප්‍රමාණයේ  ජාතික වගකිමකට උරදුන් මෙරට වැඩකරන ජනතාව මේ වනවිට කබලෙන් ලිපට වැටී තිබේ. එහෙයින්  වැඩකරන ජනතාව මෙම ජාතික  සටනට මැදිහත්වීම තුළ  දේශපාලන, සමාජ සාධාරණත්වය පමණක් නොව  ආර්ථික සාධාරණත්වය සහිත අනාගත පාලනයකට ඉගියක් සපයන බව  ජාතික ජනබලවේගයේ අදහසයි.
 
මෙවර මැයි දිනය වැඩකරන පංතියට පමණක් නොව, බිඳවැටුණු දේශය යළි ගොඩනගන්නට සහ ශ්‍රමයේ අතිරික්තය සාධාරණ ලෙස බෙදීයන  නව දේශපාලන ගමනක හැරවුම් ලක්ෂ්‍යක් වන බව අපගේ විශ්වාසයයි.  එම විශ්වාසය ඇතිව  ජාතික ජනබලවේගය මෙවර මැයි දිනය වෙනුවෙන්  වැඩකරන ජනතාවට සිය  සහෝදරාත්මක ආචාරය පුදකර සිටී.
එලෙසින්ම මේවන විට මුළු රටේම සමස්ත ජනතාව ගෝඨාභය රාජපක්ෂ පාලනය  පලවා හැරීමේ සටනට අවතීරණව සිටින බැවින් දූෂිත රාජපක්ෂ පාලනය ඇතුළු හැත්තෑ හතර වසරක ශාපය නිමාකොට ජනතාවාදී පාලනයක් ගොඩනැගීමේ කාර්යය සඳහාත්, වැඩකරන ජනතාව මෙම මැයි දිනයේ දී අධිෂ්ඨාන කරගතයුතු යැයි  අපි තරයේ විශ්වාස කරමු.