සාමකාමී අරගලකරුවන්ට පහරදීමට එරෙහිව රජයේ නීති නිලධාරින් අඛණ්ඩ වර්ජනයක

සාමකාමී අරගලකරුවන්ට පහරදීමට එරෙහිව රජයේ නීති නිලධාරින් අඛණ්ඩ වර්ජනයක

නීතියේ ආධිපත්‍ය සහ නීතියේ රැකවරණය තහවුරු කොට සංගමයේ සාමාජිකයින් ඇතුළු සියලු වැඩකරන ජනතාවගේත්, සියලු ජනතාවගේත් ඉහත කී මුලික අයිතිවාසිකම් තහවුරු කරමින්, ගාලු මුවදොර පිටියේ සාමකාමිව රැස්ව සිටි ජනතාව වෙත එල්ල කරන ලද මැර ප්‍රහාරයට වගකිවයුතු සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන තෙක්,  වහාම ක්‍රියාත්මක වන පරිදි අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට රජයේ නීති නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන වන්නේ,

රටක මුලික නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුතු වේ. තවද, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14(1) ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති භාෂණයේ නිදහස, මහජනතාවගේ සාමකාමිව රැස්වීමේ නිදහස ඇතුළු  සියලු අයිතිවාසිකම් භුක්ති විඳීමට නම් 12(1) ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති පරිදි නීතියේ රැකවරණය සර්ව සාධාරණව ක්‍රියාත්මක කළයුතු අතර එසේ කිරීමට රජය බැඳී සිටි.

තවද, අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇති බැවින් එහි 26 වන ව්‍යවස්ථාවට අනුව නීතියේ රැකවරණය සර්ව සාධාරණව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික වශයෙන්ද බැඳී සිටි.

මෙවැනි තත්ත්වයක් යටතේ, ගාලු මුවදොර පිටියේ සාමකාමිව රැස්ව සිටි ජනතාව වෙත එල්ල කරන ලද මැර ප්‍රහාරය පිළිකුල් සහගතව හෙළා දකින රජයේ නීති නිලධාරී සංගමය, එකී ප්‍රහාරය සඳහා සම්බන්ධ වූ හා/හෝ වගකිවයුතු සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කර සිටි. අදවන විට දින කීපයක් ගත වී ඇති නමුත් රජය ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති පසුබිමක් තුළ රජයේ නීති නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් ඇතුළු සියලු වැඩකරන ජනතාවගේත්, සියලු මහජනතාවගේත් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙමින් පවතින බව රජයේ නීති නිලධාරීන්ගේ සංගමය නිරීක්ෂණය කරයි.

මෙම තත්ත්වය මත, ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇති අන්තර්ජාතික කම්කරු සංවිධානයේ (ILO) සම්මුති අංක 87 සහ 98 මගින් සහතික කර ඇති, වැඩකරන ජනතාවගේ සමාගමයේ සහ සංවිධානයවීමේ අයිතිවාසිකම ද බලවත් අනතුරකට මුහුණ පා ඇති බව අප සංගමයේ අදහසයි. එබැවින්, නීතියේ ආධිපත්‍ය සහ නීතියේ රැකවරණය තහවුරු කොට අප සංගමයේ සාමාජිකයින් ඇතුළු සියලු වැඩකරන ජනතාවගේත්, සියලු ජනතාවගේත් ඉහත කී මුලික අයිතිවාසිකම් තහවුරු කරමින්, ගාලු මුවදොර පිටියේ සාමකාමිව රැස්ව සිටි ජනතාව වෙත එල්ල කරන ලද මැර ප්‍රහාරයට වගකිවයුතු සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන තෙක්,  වහාම ක්‍රියාත්මක වන පරිදි අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට රජයේ නීති නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.