වෘත්තීය සමිති ඒ්කාබද්ධ වර්ජනය අවසන් -  13 සිට පොදු අරගලය සූදානම්

වෘත්තීය සමිති ඒ්කාබද්ධ වර්ජනය අවසන් -  13 සිට පොදු අරගලය සූදානම්
වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භ කළ වැඩවර්ජනය හෙට උදෑසන 7 ට අවසන් කරන බවත්,  සැබෑ දේශපාලන පරිවර්තනය සඳහා වන අරගලය ලබන 13 වෙනිදා සිට නව මුහුහුණුවරකින් නැවත ආරම්භ කිරීමටද වෘත්තීය සමිති ඒකාබද්ධව තීරණය කර ඇති බවත් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.
 
එහි සම කැඳවුම්කරු රවි කුමුදේශ් විසින් නිකුත් කළ නිවේදනයක මෙසේද සඳහන්ය.
 
ආරක්ෂක ලේකම් කියලා කෙනෙක් ඊයේ රෑ කියනවා වෙඩි තියන්න කියලා. හිටපු අගමැති හැංගිලා. එයාව නිත්‍යානුකූලවම අයින් කරලා. ආණ්ඩුවක් නෑ. ඒ නිසා ආරක්ෂක  ලේකම් කෙනෙක් ඉන්න විදිහක් නෑ. 
 
සාමකාමී ජන අරගලයට අත තැබූ මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ ආණ්ඩුව ගෙදර ගිහින් ඉවරයි. දැන් දේශපාලන මැරයෝ, කුඩු කාරයෝ ආගම් අන්තවාදීන් වැඩේ අතට ගන්න හදමින් ඉන්නවා. මේක හමුදා පාලනයේ  සැලසුම් සහගත උත්සාහයක් වෙන්න පුළුවං.
 
රටේ දැං නිර්මාණය වෙලා තියන තත්ත්වය මගින් වෙනත් වාසි ලාබා ගැනීමට ඉඩ නොතබමින්, රට යථා තත්ත්වයට පත් කර ගැනීම, අරගලය ඉදිරියට ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන බැවින්, ඒකාබද්ද වර්ජනය හෙට උදේ 7 සිට තාවකාලිකව අවසන් කිරීම මේ මොහොතේ වෘත්තීය සමිති වගකීමකි.
 

 
ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි මහින්ද රාජපක්ෂගේ මැරයන්ට මහජනතාව නිසි දඬුවම් ලබා දී ඇතත්, මහ ජනතාව නීතිය අතට ගැනීම කිසිසේත්ම රටේ අනාගතයට හෝ ජන අරගලයේ ජයග්‍රහණයට වාසියක් නොවන බැවින්ද, වගකිවයුතු රජයක් හෝ ජනතාව පිළිගන්නා ජනාධිපතිවරයෙකු නොමැති තත්ත්වයක් යටතේ මහජන සේවාවන් සහ රටේ ආර්ථික මර්මස්ථාන යාන්ත්‍රණය අඩපණවීම බරපතළව සැලකියයුතු බැවින් වෘත්තීය සමිති විසින් මෙම තීරණයට එළඹෙන ලදී.
 
තවද, පෙට්‍රල්  සහ ඩීසල් අර්බුදය, විදුලි අර්බුදය, රෝහල් පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය ඖෂධ සහ අත්‍යවශ්‍ය සැපයුම් ලබාදීමට නොහැකිවීමේ අර්බුදය, දුම්‍රිය හා ගමනාගමන මණ්ඩලයට අත්‍යවශ්‍ය තෙල් නොමැතිවීමේ අර්බුදය, විදුලි බලාගාර සඳහා ඩීසල් නොමැති වීමේ අර්බුදය, විදුලය විසන්ධිවීම හේතුවෙන් ජල සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට නොහැකිවීමේ අර්බුදය, පිං පඩි, වැඩිහිටි දීමනා, සමෘද්ධිය, විශ්‍රාම වැටුප් ගෙවීමට මුදල් නොමැතිවීමේ අර්බුදය, සාමාන්‍ය පෙළ විභාගය පවත්වා ගැනීමට නොහැකිවීමේ අර්බුදය ඇතුළු සියලු අර්බුද, වෘත්තීය සමිති පිට පටවා රාජපක්ෂ ජනාධිපතිවරයා ගැලවීමට උත්සාහ දරමින් සිටින බැවින්, රටේ අර්බුදය පිළිබඳව  විකෘති සහගත ඇතිවීම ඇති වළක්වා ගැනීමද වෘත්තීය සමිති වගකීමකි.
 
එසේම රට ව්‍යවස්ථානුකූල ලෙස කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලන පක්ෂ නායකයින්ගේ වගකීමක් වන බැවින්, ඒ සඳහාද බල කරමින්, ජන අරගලය විසින් ඉල්ලනු ලබන සැබෑ දේශපාලක පරිවර්තනය සඳහා වන අරගලය ලබන 13 වෙනිදා සිට නව මුහුහුණුවරකින් නැවත ආරම්භ කිරීමටද වෘත්තීය සමිති ඒකාබද්ධව තීරණය කර ඇත.