සැලසුම් සහගත ප්‍රහාරයක් ; ගෝඨා, මහින්ද, ඇමැතිවරු, පොලිස්පති, දේශබන්දු වගකිවයුතුයි - තරුණ ජනමාධ්‍යවේදීහු මානව හිමිකම් කොමිසමට ලියති

සැලසුම් සහගත ප්‍රහාරයක් ; ගෝඨා, මහින්ද, ඇමැතිවරු, පොලිස්පති, දේශබන්දු වගකිවයුතුයි - තරුණ ජනමාධ්‍යවේදීහු මානව හිමිකම් කොමිසමට ලියති

මාසයක් තිස්සේ සාමකාමීව විරෝධතා පැවැත්වූ ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට පහරදී කූඩාරම් ගිනි තැබීම සැලසුම් සහගත ක්‍රියාවක් බවත්, එම සිද්ධියට සහ ඉන් පසු ඇතිවූ සිදුවීම්වලට ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය, පොලිස්පතිවරයා, බස්නාහිර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් වගකිවයුතු බවත් කියමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංමය අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය.

මෙම සැලසුම්සහගත අපරාධය සම්බන්ධයෙන් දැනුම් දීමට අද පෙරවරුවේ සිට පොලිස්පතිට, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට ඇමතුම් ලබා ගත්තද ඔවුන් දුරකතනයට ප්‍රතිචාර නොදැක්වූ බවත් එම සංගමය යොමු කළ ලිපියේ සඳහන් වේ.

අරලියගහ මන්දිරයට උදෑසන රැස්වූ පිරිස ඒ අසල පිහිටි මයිනා ගෝගමට මුලින් පහරදී ගෝඨාගෝගමට යද්දි ඒ ගැන පොලිස්පතිට ලිඛිතව දැනුම් දුන් බව ද, මයිනා ගෝගමට පහර දෙද්දී සහ ගෝඨාගෝගමට පහරදීමට යද්දී පොලිසිය කඳුළුගෑස් හෝ ජල ප්‍රහාර එල්ල කර එම පිරිස වැලැක්වීමට කටයුතු නොකළ බවද, ඔවුන් ගෝඨාගෝගමට කඩා වැදී පහර දී ගිනි තියද්දී පොලිසිය සාමකාමී විරෝධතාකරුවන්ට සහ ප්‍රචණ්ඩකාරීව හැසිරුණු ආණ්ඩුවේ පිරිසට කඳුළු ගෑස් එල්ල කළ බව ද තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.


ආරක්ෂක ලේකම්ගේ නියෝග වලංගුද?


මෙවැනි ප්‍රහාරයන් එල්ලවීම ගැන මීට සති දෙකකට පෙර ද තම සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම්දී ඇති බව සඳහන් කරන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මර්දනය සම්බන්ධයෙන් පොලිස්පතිට කළ පැමිණිලි විමර්ශනය නොකළ බව ද අවධාරණය කරයි.

එබැවින් මෙම සිදුවීම්මාලාවට ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලයද, පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ද වගකිව යුතු බැවින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කරන ලෙසත් එම සංගමය ඉල්ලා ඇත.

ඉදිරියේදී මේ සියලුම දෙනාට එරෙහිව වන්දි නඩු සහ මූලික අයිතිවාසිකම් නඩු දැමීමට බලාපොරොත්තු වන බව ද එම සංගමය කියයි.