රාජපක්ෂ පාලනයේ ඉහළම බලධාරීන්ගේ අනුදැනුම ඇතිව, සංවිධානාත්මක ලෙස සැලසුම් කළ ප්‍රහාරයක් - FMM

රාජපක්ෂ පාලනයේ ඉහළම බලධාරීන්ගේ අනුදැනුම ඇතිව, සංවිධානාත්මක ලෙස සැලසුම් කළ ප්‍රහාරයක් - FMM

අගමැතිවරයා කැඳවා තිබූ රැස්වීමකට සහභාගී වීමෙන් පසු අගමැති නිල නිවසේ සිට පිටත් වූ ආණ්ඩුවේ ආධාරකරුවන් ඒ අසල පැවති උද්ඝෝෂණයට හා ‘ගෝඨාගෝගම‘ අරගල භූමියට කඩාවැදී සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරය මනුෂ්‍යත්වයට එරෙහි සාහසික අපරාධයක් ලෙස හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එම විනාශය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රජයටත් ශ්‍රී ලංකා පොලිසියටත් තරයේ දෝෂාරෝපණය කරයි. පසුගිය දිනවල මෙම අරගලයට සහාය පිණිස පැමිණෙන සාමකාමී පෙළපාලි වැළැක්වීමට යකඩ උල් සහිත බිහිසුණු මාර්ග බාධක පවා යොදාගත් පොලිසිය, එයට ප්‍රචණ්ඩකාරී පිරිසක් කඩා වැදීම වැළැක්වීමට කිසිදු පියවරක් නොගැනීමෙන් පෙන්නුම් කරන්නේ මෙය අන්තයටම පිරිහුණු රාජපක්ෂ පාලනයේ ඉහළම බලධාරීන්ගේ අනුදැනුම ඇතිව, සංවිධානාත්මක ලෙස සැලසුම් කළ ප්‍රහාරයක් බවයි.

ආණ්ඩුවේ ප්‍රචණ්ඩ ආධාරකරුවන් සාමාකාමී අරගලයේ නිරතව සිටි විශාල පිරිසකට පහර දී තුවාල සිදු කර ඇති අතර විශාල දේපළ හානියක් සිදු කර ඇත. තුවාල ලැබූවන් අතර ජනමාධ්‍යවේදීන්ද සිටින බවත්, සාහසිකයින් ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර පහර දී ඇති බවත් වාර්තා වේ. පූජ්‍ය පක්ෂයද, කාන්තාවන්ද දරුණු ප්‍රහාරවලට ලක්ව ඇත. දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව පිරිසක් රෝහල්ගත කර තිබේ. සාහසික ප්‍රහාරකයින් එම ප්‍රහාරයෙන් පසුව දිවා ආහාරය සඳහා අගමැති මන්දිරයට ගොස් ඇති බව වාර්තා වන අතර එය ශ්‍රී ලංකා ඉතිහාසයේ නින්දාසහගත සිදුවීමක් ලෙස සටහන් වනු ඇත.

ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු රාජපක්ෂ පාලනයට ඉවත් වන ලෙස බල කරමින් දින 30ක් මුළුල්ලේ පැවති මෙම විරෝධතාව මෙරට අරගල ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයක් වූ අතර ආගමික ප්‍රජාවගේත්, නීතිඥ වෘත්තිකයන් ඇතුළු වෘත්තීය ප්‍රජාවගේ හා පොදු ජනතාවගේත් විශාල සහායක් හා ආශිර්වාදයක් එයට හිමි විය. එමෙන්ම එය ජාත්‍යන්තරයේද විශේෂ අවධානයට ලක් විය. විශේෂයෙන්ම එය ප්‍රචණ්ඩත්වයෙන් තොර, අවිහිංසාවාදී හා නිර්මාණශීලී අරගලයක් ලෙස බොහෝ පාර්ශ්වවල ඇගැයීමට ලක් විය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය ප්‍රජාවද මෙම අරගලයට සාමූහිකව සහාය පළ කළේය. දැවැන්ත ආර්ථික හා සමාජයීය පීඩනයකට ලක්ව සිටින පොදු ජනතාවගේ උද්ඝෝෂණ ප්‍රචණ්ඩත්වයට තල්ලු වීමෙන් වැළකීමට මෙම සාමකාමී අරගලය විසින් සිදු කළ මෙහෙවර සදානුස්මරණීය වන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගෞරවයෙන් යුතුව සිහිපත් කරයි.

රාජපක්ෂ පවුලේ පාලනය යටතේ ශ්‍රී ලංකාව පත්ව තිබෙන කාලකණ්ණි ඉරණමෙන් මුදාගැනීම පිණිස, අදහස් පළ කිරීමේ මූලික අයිතිවාසිකම භාවිත කරමින් සාමකාමී අරගලයක නිරත වෙමින් සිටියදී හිංසනයට ලක් වූ සියලු දෙනාට සිය ආචාරය පළ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මෙම සාහසික අපරාධයට එරෙහිව පෙළගැසෙන ලෙස නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු පුරවැසියන්ටත් ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්ෂකයින්ටත් ආයාචනා කරයි. එමෙන්ම  මේ සාහසික ප්‍රතිචාරය හමුවේ නොසැලී, මෙතෙක් දැඩි කැපවීමෙන් යුතුව ප්‍රගුණ කළ අහිංසාවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කර ගනිමින් අරගලයේ අරමුණ ජය ගැනීම පිණිස කැප වන ලෙස ජන අරගලයේ නිරත සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටී.

මේ සාහසික පාලනය අවසන් කොට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් යළි ස්ථාපිත කිරීම වෙනුවෙන් සිවිල් සමාජය හා සියලු දේශපාලන පක්ෂ සාමූහිකව ක්‍රියා කළ යුතු බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.