තම අයිතීන් ඉල්ලා උද්ඝෝෂණ කරන අරගලකරුවන්ට එරෙහිව රාජ්‍ය ප්‍රචණ්ඩත්වය අපි හෙළා දකිමු

තම අයිතීන් ඉල්ලා උද්ඝෝෂණ කරන අරගලකරුවන්ට එරෙහිව රාජ්‍ය ප්‍රචණ්ඩත්වය අපි හෙළා දකිමු

 (2022.05.09) සිංහල-බෞද්ධ ආණ්ඩු අතරේ කුප්‍රකටම රාජපක්ෂ පවුල් ආණ්ඩුව තම මැරයන් යොදවා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමීව විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන්ට, පහර දී ඇත.  දෙමළ සිවිල් සමාජය වන අපි ආණ්ඩුවේ මෙම ම්ලේච්ඡ හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව තරයේ හෙළා දකින බව සිවිල් සංවිධාන එකමුතුවක් විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, බලයට පත් වූ රජයන්ගේ අදූරදර්ශි ආර්ථික ප්‍රතිපත්ති නිසා පරිහානියට පත් වූ රටේ ආර්ථික ව්‍යුහය, (මේ වන විට)  කඩා වැටී ඇත. මේ නිසා වර්තමානයේ, ජනතාව, බරපතළ ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දෙමින් සිටිති. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාස දෙකහමාරක කාලය තුළ දකුණේ ජනතාව වත්මන් රජයට, විශේෂයෙන්ම රාජපක්ෂ රෙජිමයට එරෙහිව උද්ඝෝෂණවල නිරත වෙමින් සිටිති.

මුලදී වත්මන් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පැවති විරෝධතා, ක්‍රමක්‍රමයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතු බවටත්, පසුව සමස්ත රාජපක්ෂ පරපුරම ඉල්ලා අස්වන ලෙසත් අවසානයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වන ලෙස බල කිරීම දක්වා වර්ධනය විය. දකුණේ සිදුවන මෙම වෙනස්වීම් ගැන දෙමළ ජනතාව, ඉතා විමසිල්ලෙන් සහ අවධානයෙන් නිරීක්ෂණය කරමින් සිටිති. බොහෝ දෙමළ ජනතාව නිරීක්ෂකයින් ලෙස රැඳී සිටිමින් විරෝධතාවලට සහභාගී නොවන අතර, දෙමළ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් තනි පුද්ගලයන් සහ කුඩා කණ්ඩායම් වශයෙන් විරෝධතා සඳහා දායක වෙති.

ආරම්භයේ සිටම බලයට පත් වූ සිංහල ස්වෝත්තමවාදී ආණ්ඩු දෙමළ ජනතාවගේ ජාතික අනන්‍යතාව‍ය විනාශ කිරීමේ අරමුණින් ජන සංහාරක ක්‍රියාකාරකම් සිදු කරමින් ඇත. මුලදී (වසර විස්සකට වැඩි කාලයක්), දෙමළ ජනයා අවිහිංසාවාදී ප්‍රතිරෝධයන් මගින් මෙම ක්‍රියාකාරකම්වලට විරුද්ධ වූහ. කෙසේ වෙතත්, ඔවුන්ගේ සාමකාමී විරෝධතාවලට එරෙහිව රාජ්‍යයේ ප්‍රචණ්ඩ ප්‍රතිවිරෝධයට ඔවුනට මුහුණ දීමට සිදුවිය. අපගේ සාමකාමී ඉල්ලීම් නොකඩවා නොසලකා හරින ලද අතර, රජය විසින් දෙමළ ජනතාවට එරෙහි සිය ජනසංහරික ක්‍රියාකාරකම් දිගටම පවත්වාගෙන යන ලදි. මේ නිසා 1970 ගණන්වල රාජ්‍යයට එරෙහිව ආයුධ අතට ගැනීමට, දෙමළ තරුණයන්ට බල කෙරුනු තත්ත්වයක් උදා විය. එසේ වූවත්, දෙමළ ජනයාගේ අයිතීන් ලබාදීම ප්‍රතික්ෂේප කළ බෞද්ධ ස්වෝත්තමවාදී රාජ්‍යය ඔවුන්ට එරෙහිව තවදුරටත් ප්‍රචණ්ඩත්වය මුදා හැරියේය. අවසානයේදී, පසුගිය රාජපක්ෂ රජය, දෙමළ ජනතාවට එරෙහිව ප්‍රහාර මාලාවක් දියත් කළ අතර අවසානයේ 2009 මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවලදී මුල්ලිවයික්කාල්හිදී, ඔවුන්ගේ සන්නද්ධ ප්‍රතිරෝධය අවසන් කළේ මෙම සියවසේ ලොව විශාලතම ජන සංහාරය ක්‍රියාත්මක කරමිනි.

ප‍්‍රචණ්ඩත්වයට හුරු සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී රාජ්‍යය, ජනතාවගේ සාමකාමී අරගලවලට, තමන්ගේම ජාතියේ අය වූවත්, සෑම විටම ප‍්‍රතිචාර දක්වන්නේ ඔවුන්ට හුරු පුරුදු ආකාරයෙන්ම බව පෙරේදා සිදු වූ සිදුවීම්වලින් නැවත වරක් ඔප්පු වී ඇත.

පෙරේදා, විරෝධතාකරුවන්ට සහ ජනතාවට එරෙහිව රාජ්‍යය සුපුරුදු පරිදි ප්‍රචණ්ඩත්වය මුදාහරින විට දකුණේ ජනතාව ඊට ප්‍රතිචාර වශයෙන් පාරට බැස ප්‍රතිප්‍රහාර එල්ල කළහ. රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහිව ප්‍රචණ්ඩත්වයෙන් මුහුණ දීමට තීරණය කිරීම පිටුපස ඇති හැඟීම් අපට පහසුවෙන් තේරුම් ගත හැකිය. තම සතුරන් ලෙස සලකන පුද්ගලයන්ට පහර දීම, ඔවුන්ගේ දේපළ විනාශ කිරීම සහ පොදු දේපළවලට හානි කිරීම වැනි ජනතාවගේ ප්‍රචණ්ඩ ප්‍රතිචාරය දිගටම පැවතුණි. මෙවැනි ක්‍රියාකාරකම් පිළිබඳව නැවත විමසා බලන මෙන් විරෝධතාකරුවන්ගෙන් සහ ජනතාවගෙන් කාරුණිකව අපි ඉල්ලා සිටිමු.

මක්නිසාද යත් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී රාජ්‍යය සහ එයට පාදක වන මතවාදයන් ඕනෑම ප්‍රචණ්ඩත්වයකට යොමු වන බව තහවුරු කිරීමේ ජීවමාන සාක්ෂිකරුවන්, දෙමළ ජනතාව වන අප වන බැවිනි. එබැවින් මෙම අරගලය අවසන් ජයග්‍රහණය කරා රැගෙන යාමේදී විමසිලිමත්ව, සන්සුන්ව, උපායශීලීව සහ ඒ සමඟම ආරක්‍ෂිතව කටයුතු කරන ලෙස අපි විරෝධතාකරුවන්ගෙන් සහ දකුණේ ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

සිංහල ජනතාව අතර පෝෂණය වූ සිංහල බෞද්ධ අභිමානය පිළිබඳ අදහස, කවදත් එයින් ප්‍රයෝජන ලබන අය තම අවශ්‍යතා සහ පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා භාවිත කර ඇත. මේ අරගලයේදී පවා ඔවුන් උත්සාහ කරන්නේ බෙදුම්වාදී අදහස් හා ව්‍යාකූල අණ මගින් පමණක් නොව ව්‍යාජ සුහදත්වය ප්‍රකාශ කිරීම හරහා එය වෙනතකට යොමු කිරීමටයි.

දකුණේ ජනතාවගේ මෙම විරෝධතා ඔවුන්ගේ (දේශපාලකයන්ගේ) ලාභ ප්‍රයෝජන වලට බාධා කරන සැබෑ වෙනසක් හෝ විප්ලවීය රැඩිකල් වෙනසක් හෝ ඇති කිරීමට හේතු වනු ඇතැයි ඔවුහු බිය වෙති. ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ මුවාවෙන් සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයේ අවශ්‍යතා වෙනුවෙන් වත්මන් ව්‍යවස්ථාව, හැකිතාක් සුරකින විසඳුම් යෝජනා කරමින්, වත්මන් ජනාධිපතිවරයා බලයේ තබා ගනිමින්, අවම වශයෙන් හා තාවකාලිකව, සුළු ව්‍යවස්ථා සංශෝධන කරමින්,  කිහිප දෙනෙකුගේ තනතුරු වලට වෙනත් අය පත්කරමින් අරගලය යටපත් කිරීමට උත්සාහ කරන බව අපට නිරීක්ෂණය කිරීමට ලැබීම කණගාටුදායකය.

මෙම සන්දර්භය තුළ දකුණේ ජනතාව, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් තනතුරුවලින් ඉවත් කිරීමේ පටු අරමුණෙන් ඔබ්බට තම විරෝධතාවල අරමුණු පුළුල කර ගත යුතුය. එම අරමුණු පැහැදිලිව නිර්වචනය කර ප්‍රකාශයට පත් කළ යුතුය. මේ රටේ සියලුම ප්‍රශ්නවලට මුල වන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී මතවාදයෙන් නිදහස් වූ, ජනතාවට වගකියන, අනාගමික ෆෙඩරල් රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය චින්තනමය වෙනසක් ඇති කිරීම සදහා හිතකර විප්ලවීය අරගලයක් බවට ඔබේ විරෝධතා පරිවර්තනය කිරීම ඔබේ අරමුණ විය යුතුය. එමගින් ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතීන්ට සහ ප්‍රජාවන්ට නොබියව හෝ මානසික බාධා වලින් තොරව හෝ සිංහල ජනතාවගේ අඛණ්ඩ විරෝධතාවලට සම්බන්ධ වීමට හැකි වේ. අපි, දෙමළ සිවිල් සමාජය ලෙස විශ්වාස කරන්නේ එවන් විප්ලවයක් සහ ඒ සමඟ ඇති වන වෙනස්කම් වලින් පමණක් මේ රටත් එහි ජනතාවත්, පවතින ගැටලුවලට තිරසාර විසඳුම් කරා යන මාවතට රැගෙන යනු ඇති බවයි.

  • Adayalam Centre for Policy Research
  • Aharam
  • Airani Trust, Batticaloa
  • Centre for Justice and Change
  • Civil Society Activists’ Forum, Ampara
  • Eastern Regional Council, Church of the American Ceylon Mission
  • Eastern Social Development Foundation, Oddamavady
  • Employees’ Union, University of Jaffna
  • Federation of Kattankudy Civil Societies
  • Inter Religious Forum, Batticaloa
  • Jaffna Economists’ Association
  • Peace Commission, Church of American Ceylon Missions
  • Priests and Religious for Justice and Peace, North – East
  • Puzhuthi Social Movement, Trincomalee
  • Tamil Social Activist Network
  • Tamil Civil Society Forum
  • Tamil’s Heritage Forum
  • Thalam, Trincomalee
  • Then Kailai Aadheenam
  • White Peacock Organization, Batticaloa

11.05.2022