පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථන පැහැරගැනීම තරයේ හෙළාදකිමු

පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථන පැහැරගැනීම තරයේ හෙළාදකිමු

අද දින (මැයි 17) පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ වාර්තාකරණයේ නිරතව සිටි සිරස පාර්ලිමේන්තු මාධ්‍යවේදී කසුන් සමරවීර සහ ස්වරණවාහිනියේ පාර්ලිමේන්තු මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරාගේ ජංගම දුරකථන, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් බලහත්කාරයෙන් පැහැරගැනීම තරයේ හෙළාදකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මේ පිළිබඳව වහා පරීක්ෂා කොට සාධාරණය ඉටු කරන මෙන් කතානායකවරයාගෙන් හා අගමැතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

පාර්ලිමේන්තුව වාර්තා කරන මාධ්‍යවේදීන් ජංගම දුරකථන භාවිත කරමින් වාර්තාකරණයේ නිරත වීම සාමාන්‍ය සිදුවීමක් වන අතර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසන් වී මන්ත්‍රීවරුන් පිටතට පැමිණෙන අවස්ථාව රූගත කරමින් සිටියදී මාධ්‍යවේදීන්ට තර්ජනය කොට ජංගම දුරකථන පැහැරගෙන තිබේ. මේ  සාපරාධී ක්‍රියාව සිදු කර ඇත්තේ ඉන්දික අනුරුද්ධ සහ ඩී. වීරසිංහ යන මන්ත්‍රීවරුන් බවට මාධ්‍යවේදීහු චෝදනා කරති. අදාළ මාධ්‍යවේදීන් මේ පිළිබඳව කතානායකවරයාට මෙන්ම වැලිකඩ පොලිසියටද පැමිණිලි කර ඇත.

බලහත්කාරයට ලක් වූ මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයාද වන අතර මෙය සියලු පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ටත්, පොදුවේ ජනමාධ්‍ය නිදහසට හා මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතියටත් එල්ල වූ බරපතළ තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ අදූරදර්ශී, අත්තනෝමතික හා දූෂිත ක්‍රියා පිළිවෙත නිසා මුළු රටම බිහිසුණු ඉරණමකට ඇද වැටී ඇති හා සමස්ත පාර්ලිමේන්තු ක්‍රමය කෙරෙහිම ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති මොහොතකදී පවා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙලෙස මැරයින් ලෙස කටයුතු කිරීම ඉතා  අභාග්‍යසම්පන්න තත්ත්වයකි.

සාමකාමී ජන අරගලයට එරෙහිව මැර බලය මුදාහරිමින් හිටපු අගමැතිවරයා පෙන්වූ වැරදි ආදර්ශයත්, මේ වන තුරු එම සාපරාධී ක්‍රියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමත් මෙවැනි ක්‍රියාවලට තවදුරටත් අනුබලය සපයන බව අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මෙම අභාග්‍යසම්පන්න ඉරණමෙන් රට මුදාගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව පෙළගැසෙන මෙන් සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.