පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනාට එරෙහි පොලිස් පැමිණිලි ඉල්ලා අස්කර ගන්නැයි ජනමාධ්‍යවේදීන් දෙදෙනාට බලපෑම්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනාට එරෙහි පොලිස් පැමිණිලි ඉල්ලා අස්කර ගන්නැයි ජනමාධ්‍යවේදීන් දෙදෙනාට බලපෑම්

තර්ජනය කිරීම, පහරදීමට තැත්කර ජංගම දුරකථන උදුරා ගැනීම සහ වෘත්තීය කටයුතුවලට බාධා කිරීම ගැන ඩී. වීරසිංහ, ඉන්දික අනුරුද්ධ සහ මහාචාර්ය චන්න ජයසුමන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් කරමින් මෙම ජනමාධ්‍යවේදීහු පොලීසියට පැමිණිලි කළහ.

පාර්ලිමේන්තුව තුළ දී මන්ත්‍රීවරු තිදෙනෙකු බැන තර්ජනය කර, පහරදීමට තැත්කර ජංගම දුරකථන උදුරා ගැනීමේ සිද්ධියට අදාල ජනමාධ්‍යවේදීන් දෙදෙනාට පොලිස් පැමිණිලි ඉවත් කර ගන්නැයි බලපෑම් එල්ල වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (මැයි 19) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

''මාධ්‍යවේදීන්ට අත තියන්න මන්ත්‍රීවරුන්ට හෝ මොන යකාටවත් අයිතියක් නෑ. ජනාධිපතිට, අගමැතිට හෝ විපක්ෂ නායකට අයිතියකුත් නෑ. 225ටම අයිතියක් නෑ. නිදහස් මාධ්‍ය සුරකින්නට කටයුතු කරන්න ඕනා.'' ලෙස සඳහන් කළ විපක්ෂ නායකවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ජනමාධ්‍යවේදීන්ට නිදහසේ සිය වෘත්තීය කටයුතු කරගෙන යෑමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන ලෙසයි.

ස්වර්ණවාහිනියේ පාර්ලිමේන්තු වාර්තාකරු ලෙස වසර 20ක පමණ කාලයක් ක්‍රියා කරන, පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රගීත් පෙරේරා සහ වසර හතක් සිරස මාධ්‍ය ජාලයේ පාර්ලිමේන්තු වාර්තාකරුවෙකු ලෙස ක්‍රියා කරන කසුන් සමරවීර තමන්ට එල්ල වූ තර්ජන සහ වෘත්තීය කටයුතුවලට බාධා කිරීම් ගැන මැයි 17 වැනිදා වැලිකඩ පොලීසියට පැමිණිලි කර තිබේ.

එම පැමිණිලි විභාග කිරීම ගැන පොලිසිය මේ දක්වා කිසිදු දැනුම් දීමක් කර නැති ද එම මාධ්‍යවේදීහු පවසති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙකුට චෝදනා

තර්ජනය කිරීම, පහරදීමට තැත්කර ජංගම දුරකථන උදුරා ගැනීම සහ වෘත්තීය කටයුතුවලට බාධා කිරීම ගැන තමන් ඩී. වීරසිංහ සහ මහාචාර්ය චන්න ජයසුමන්ගේ නම් සඳහන් කරමින් පැමිණිල්ල ඉදිරිපත් කළ බව ජනමාධ්‍යවේදී කසුන් සමරවීර බීබීසීයට පැවසුවේය.

ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයාගේ නම සඳහන් කර තමන් පොලීසියට පැමිණිළි කළ බව ජනමාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරා පවසයි.

කතානායකවරයාගේ නියෝගයකට අනුව එම සිදුවීම ගැන පාර්ලිමේන්තු පොලිසිය විමර්ශනයක් කර ඊට අදාළ වාර්තාව කතානායකවරයා වෙත යොමු කර තිබුණි. එම විමර්ශන වාර්තාව පදනම් කරගෙන කතානායක මහින්ද යාපා අබේවර්ධන මැයි 19 දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ද කරන ලදී. එහිදී ඔහු සඳහන් කළේ මෙම මාධ්‍යවේදීන් දෙදෙනා නිසි අවසරය සහිතව පාර්ලිමේන්තු කටයුතු වාර්තා කරන ජනමාධ්‍යවේදීන් ලෙස ක්‍රියා කළ ද ඔවුන් අනවසර ස්ථානයක සිට එදින පටිගත කිරීම් සිදු කර ඇති බවයි.

වේත්‍රධාරිගේ අංක SA/E/2 දරණ 2022.04.29 දිනැති උපදෙස් පත්‍රිකාව අනුව පාර්ලිමේන්තු වාර්ෂික අවසර පත්‍රය සහ පාර්ලිමේන්තුව විසින් නිකුත් කරන ඡායාරූපය සහිත හැඳුනුම්පත හිමි ජනමාධ්‍යවේදීන්ට, හඬ පට පටිගත කිරීම පුස්තකාලය සහ වෛද්‍ය මධ්‍යස්ථානය අතර කොටසේ පමණක් කළ හැකි අතර වෙනත් ස්ථානයක කරන්නේ නම් වේත්‍රධාරියාගේ විශේෂ අවසරය ලබා ගතයුතු බව සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් කතානායකවරයා කියා සිටියේය.

''අදාළ ජනමාධ්‍යවේදීන් දෙදෙනා අනවසර ස්ථානයක සිට මෙම කාර්යය කළ බව අනාවරණය වී ඇත. දිවයින තුළ උද්ගත වර්තමාන ත්ත්වය යටතේ තමන් නොහඳුනන පුද්ගලයන් විසින් එවැනි ස්ථානයක සිට මෙවැනී කාර්යයක් කිරීමේදී ගරු මන්ත්‍රීවරුන් විසින් විශේෂ සංවේදීත්වයක් දැක්වීම නොවැලක්විය හැකි කරුණකි.'' යනුවෙන් කතානායකවරයා එහිදී වැඩිදුරත් සඳහන් කළේය.

එහිදී විපක්ෂනායකවරයා අවධාරණය කළේ එවැනි උපදෙස් තිබුණ ද කමිටු කාමර අසල සිට දේශීය මෙන්ම විදේශීය ප්‍රවෘත්ති සේවාවන් සඳහා තමන් ද ඇතුළුව මන්ත්‍රීවරු ජනමාධ්‍යවේදීන්ට ප්‍රකාශ ලබා දීම කාලයක් තිස්සේ සිදු කෙරෙන සාමාන්‍ය ක්‍රියාවලියක් බවයි. එබැවින් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ඇතත් නිදහස් මාධ්‍යවේදීන්ගේ දුරකථන උදුරා ගැනීමට මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද නැතැයි විපක්ෂ නායකවරයා පැවසුවේය.

ජනමාධ්‍යවේදීන් බිය කර ජංගම දුරකථන උදුරා ගැනීම

මැයි 17වැනි දින පාර්ලිමේන්තුවේ අංක 01 කමිටු ශාලාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත් වුණි. ඊට සහභාගී වූ මන්ත්‍රීවරු පෙරවරු 10ට පමණ කමිටු ශාලාවෙන් ඉවතට පැමිණෙන ආකාරය ප්‍රගීත් පෙරේරා සහ කසුන් සමරවීර සිය ජංගම දුරකතනවලින් පටිගත කර තිබුණි.

''ඒ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ ඇවිත් මාව තල්ලුකරගෙන ගිහින් බිත්තියට හේත්තු කරලා, මට තර්ජනය කරලා ඇහුවා මොකක්ද අපිව ගන්න තියෙන වුවමනාව කියලා. ඊට පස්සේ මගේ ෆෝන් එක උදුර ගත්තා. ඒ වෙලාවේ මම දැක්කා ඩී. වීරසිංහ මන්ත්‍රීවරයා අසභ්‍ය වචනයෙන් බැන වදිමින් කසුන්ගේ ෆෝන් එකත් උදුරා ගන්නවා.'' යනුවෙන් ප්‍රගීත් පෙරේරා තමන් මුහුණ දුන් අත්දැකීම බීබීසීයට විස්තර කළේය.

''මගේ ෆෝන් එක උදුර ගත්ත වෙලාවේ මම ඩී.වීරසිංහ මන්ත්‍රීතුමාට කිවුවා කරුණා කරලා මගේ ෆෝන් එක දෙන්න කියලා. මම කරන්නේ අපේ රාජකාරිය කියලා. මන්ත්‍රීතුමාගේ අතේ තිබුණු මගේ ෆෝන් එක මම නැවත ගන්න උත්සහ කළා. ඒ වෙලාවේ එතන හිටපු මහාචාර්ය චන්න ජයසුමන මන්ත්‍රීතුමා කිවුවා 'අඩෝ..අඩෝ උඹල අපිටත් ගහලා මන්ත්‍රීවරුන්ගේ ඇඟටත් අත තියන්න හදන්න එපා. අපිට මන්ත්‍රී වරප්‍රසාද තියෙනවා කිවුවා.'' යනුවෙන් කසුන් සමරවීර පැවසුවේය.

මාධ්‍යවේදීන් දෙදෙනාගෙන් ලබාගත් ජංගම දුරකථන අදාළ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී වෙත භාර දී කතානායකවරයාට ද පැමිණිලි කර තිබුණි.

මහාචාර්ය චන්නට ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්

අදාළ සිදුවීමෙන් පසු මහාචාර්ය චන්න ජයසුමන පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානය යොමු කරන ලදී.

''ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තු පරිශ්‍රය තුළට මන්ත්‍රීවරු සහ කාර්ය මණ්ඩලය නොවන කිහිපදෙනෙක් ඇවිල්ලා වීඩියෝ කරනවා ටෙලිෆෝන් අරගෙන. කමිටු කාමරයේ අපේ ආණ්ඩු පක්ෂයේ රැස්වීම තිබුණා. ඒ ස්ථානයටත් පැමිණියා. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව, කවුද ඒ අය කියලා හොයලා අනාවරණය කරන්න. ඒ අය ඉවත් කරන්න කටයුතු කරන්න. සමහරු බයෙන් ඉන්නවා එන්න ඒ ප්‍රශ්නය නිසා.'' යනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන එහිදී පැවසුවේය.

නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මන්ත්‍රීවරයා ද ඒ ගැන කතානායකවරයාගේ අවධානය යොමු කළේය.

එම ගැටලුව දැනගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වහා ඒ ගැටලුව විසඳීමට මැදිහත් වෙමින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන ලදී.

''ඒ අයට නිදහසක් ලබා දීලා තියෙනවා තමන්ගේ අයි ෆෝන්ස් වලින් වීඩියෝ ගන්න, ප්‍රකාශන ගන්න. නමුත් අද එතුමන්ලා සතු දුරකථන දෙකම පැහැර ගෙන තිබෙනවා. ප්‍රගීත් පෙරේරාගේ සහ කසුන් සමරවීරගේ ජංගම දුරකථන නැවත ලැබීමට සලස්වන්න'' යනුවෙන් විපක්ෂ නායකවරයා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

''අපි අවබෝධ කර ගන්න ඕනා ජනමාධ්‍ය නිදහස. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ හතරවෙනි කුළුණ. ඒක වර්තමාන අගමැතිතුමාත් අවබෝධ කරගෙන තිබෙනවා. එතුමත් හැමදාම නිදහස් ජනමාධ්‍ය වෙනුවෙන් පෙනීසිටි පුද්ගලයෙක්. ඒ පැහැරගත් දුරකථන නැවත ලබා දෙන ලෙසත්, ජනමාධ්‍යවේදීන්ට තමන්ට රිසි සේ ප්‍රජාතන්ත්‍රවාදීව වාර්තා කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දෙන්නටත් කියලා මම බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා.'' යනුවෙන් එහිදී විපක්ෂ නායකවරයා එදින වැඩිදුරත් පැවසුවේය.

දර්ශන මකා දමා දුරකථන නැවත භාර දෙයි

පාර්ලිමේන්තුවේ ඇති පොලිස් ඒකකයට අදාළ පැමිණිල්ල කිරීමට තැත්කිරීමේදී එය භාරගැනීමට ප්‍රතික්ෂේප කිරීම නිසා වැලිකඩ පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ජනමාධ්‍යවේදීන් දෙදෙනා මැයි 17 වැනිදා පස්වරු පහට පමණ නැවත පාර්ලිමේන්තුවට ගොස් තිබුණි. එහිදී ඔවුහු පාර්ලිමේන්තුවේ වෙත්රධාරියා මුණ ගැසීමෙන් අනතුරුව ජංගම දුරකථන නැවත භාර දීමට පියවර ගෙන තිබේ. එහෙත් ඔවුන් පටිගත කළ දර්ශන මකා දැමීමෙන් පසුව එම දුරකථන භාර දීමට කටයුතු කර තිබුණි.

(bbc/sandeshaya)