අධ්‍යාපන ලේකම් ධූරය අවභාවිත කරමින් පාසල්වලට දරුවන් ඇතුළත් කරන බවට චෝදනා

අධ්‍යාපන ලේකම් ධූරය අවභාවිත කරමින් පාසල්වලට දරුවන් ඇතුළත් කරන බවට චෝදනා

රටේ පවතින ආර්ථික දේශපාලන අර්බුදය තුළ මේ වන විට ජනප්‍රිය පාසල්වලට සීමාව ඉක්මවමින් ළමුන් ඇතුළත් කරමින් තිබේ. කැබිනට් මණ්ඩලය නොමැති, ආණ්ඩුවක් නොමැති තත්වයක අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ධූරය ද මේ වන විට අහෝසි වී ඇත. එසේ තිබියදී අධ්‍යාපන ලේකම් ධූරය අවභාවිතා කරමින් පෙරදාතම සහිත ලිපි මගින් පාසල්වලට දරුවන් ඇතුළත් කරන බව දැනගන්නට ඇති බව ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, හිටපු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද පසුගිය කාලය පුරාම පාසල්වලට අනීතික ලෙස ළමුන් ඇතුළත් කිරීම සිදු කළ අතර, මේ වන විට කොළඹ ප්‍රධාන ජනප්‍රිය පාසල් කිහිපයකම පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව 60 කට වැඩි ප්‍රමාණයක් වේ. පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 35 කට සීමා විය යුතු බවට 2016 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පවතිද්දී එය ද උල්ලංඝණය කරමින් මේ ආකාරයෙන් ජනප්‍රිය ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සිදු කරයි.

පසුගිය කාලය පුරාම දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකළ අධ්‍යාපන අමාත්‍යවරයා හා ලේකම්වරයා විසින් සිදු කරනු ලැබුවේ පාසල්වලට අනීතිකව ළමුන් ඇතුළත් කිරීමයි.

ඉන්ධන අර්බුදය තුළ පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාම ගැටලුකාරී වී ඇති වාතාවරණයක එම ගැටලුවලට විසඳුම් ලබා නොදී රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්වය තුළ ද මේ දිනවල තවදුරටත් සිදුකරන අනීතික ළමුන් ඇතුළත් කිරීම් වහාම නතර කිරීමට කටයුතු කරන ලෙස බලකර සිටිමු.