ගුවන් විදුලියේ වෘත්තීය සමිති සන්ධානයෙන් නිවේදනයක්

slbc

චන්ද්‍රපාල ලියනගේ ගුවන්විදුලියේ කැළෑ නීතිය ඇති බවට කරන චෝදනාව පිළිකුලෙන් යුතුව බැහැර කර සිටින අතර, ඒකපාර්ශවික චෝදනාව පල කිරීමට පෙර ගුවන්විදුලි සංස්ථාව වෙතින් විමසීමට සාධාචාරාත්මක වගකීමක් බවද, ගුවන්විදුලි සංස්ථාවටද අදාළ චෝදනාවට ප්‍රතිචාර දැක්වා  චන්ද්‍රපාල ලියනගේ නඟා ඇති අභූත චෝදනාවට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.

ගුවන්විදුලියෙන් මට වෙච්ච සිද්ධිය පිළිබද පරීක්ෂණයක් කරන්න - ප්‍රවෘත්තියට ප්‍රතිචාර දැක්වීම.

චන්ද්‍රපාල ලියනගේ යන අය ප්‍රකාශ කරන්නේ, ගුවන්විදුලි සංස්ථාවේ වෘත්තිය සමිති කිසියම් දේශපාලන අවශ්‍යතාවයක් මත කටයුතු කරන බවයි. එම චෝදනාව අප සන්ධානය තරයේ ප්‍රතික්ෂේප කරමු. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාද සම්බන්ධ කරමින් ඔහු විසින් ඉදිරිපත් කරන චෝදනාව බැහැර කරන අතර, හිටපු අගමැතිවරයා සම්බන්ධයෙන් හෝ වෙනත් දේශපාලන පක්ෂයක අවශ්‍යතාවයක් සදහා හෝ අප වෘත්තීය සමිති සංධානය ක්‍රියාකර නැත. ඔහු එවැනි ප්‍රකාශන වලින් උත්සාහ කරන්නේ දේශපාලන වාසි ලබාගැනීම බව පැහැදිළිය.

ගෝල්ෆේස් අරගලය සහ රටතුළ උද්ගතවු කෝලාහාල තත්ත්වය ගුවන්විදුලියේ ඇති වු සිද්ධීන්ට සමාන කරමින් විකෘති චිත්‍රයක් මැවීමට චන්ද්‍රපාල ලියනගේ යන අය උත්සාහ දරා ඇත. නමුත් චන්ද්‍රපාල ලියනගේ යන අය සම්බන්ධයෙන් මතුවී තිබෙන තත්ත්වය ඔහුගේ වසර 3කට ආසන්න පරිපාලනමය විෂමතාවයන්, දුෂිත මුදල් ගණුදෙනු හා ඥාති සංග්‍රහය වැනි අපිරිසිදු ක්‍රමවේදයට එරෙහිව ක්‍රමානුකූලව නිර්මාණය වුවක් බව අවධාරණය කර සිටිමු.  රටතුළ නිර්මාණය වු දේශපාලන වාතාවරණයන්ට තමන්ට අදාළ සිද්ධිය ගැළපීමට ඔහු උත්සාහ කරන්නේ දේශපාලනමය වාසියක් ලබා ගැනීමට බව පැහැදිළිය.

ගුවන්විදුලි සංස්ථාවේ ක්‍රියාත්මක වන්නේ මුළු රට තුළම ක්‍රියාත්මක පොදු නීතිය වන අතර, ආයතනික රෙගුලාසි, මාණ්ඩලික නිවේදන, ආයතනයේ පාලන අධිකාරිය විටින් විට නිකුත් කරන චක්‍ර ලේඛණ ආදිය ආයතනයේ සාමාන්‍ය කටයුතු නියාමනය කරයි.

ඉකුත් 19 වෙනිදා (බ්‍රහස්පතින්දා) ගුවන්විදුලියේ ඒකාබද්ධ වෘත්තිය සන්ධානයට අයත් වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් ගුවන්විදුලි සංස්ථාව මුහුණ දී තිබෙන අභියෝග සහ එම අභියෝග ජය ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ජාවක් කෙරිනි. මෙම රැස්වීම පිළිබදව වෘත්තිය සමිති නායකයින් 2022.05.18 දින සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ මහතා වෙත ලිඛිතවම දැනුම් දෙනු ලැබීය. එළෙසම ගුවන්විදුලියට ඇති අභියෝග පිළිබදව කාර්යය මණ්ඩලය දැනුවත් කරන ලෙස වෘත්තීය සමිති නායකයින් සභාපතිගෙන්ද ඉල්ලීමක් කළේය.

මෙම රැස්වීමේදී ගුවන්විදුලිය මුහුණ දී ඇති මුල්‍ය අර්බුදය පිළිබදව වෘත්තීය සමිති නායකයින් සමස්ත කාර්යය මණ්ඩලය දැනුවත් කළ අතර, එහිදී අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ චන්ද්‍රපාල ලියනගේ යන අය සිදු කර ඇති මුල්‍යමය වංචා, මුල්‍ය අක්‍රමිකතා සහ සංස්ථාවේ ඉදිරි ගමන්මගට බාධාකාරී වන ඔහුගේ දුර්වල පරිපාලන ක්‍රමවේදයද සාකච්ජාවට ලක්විය.

පිළිගත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව චන්ද්‍රපාල ලියනගේ යන අය සිය ආරම්භක වැටුප රුපියල් 27000 කින් වැඩිකර ගැනීම මෙහිදී සාකච්ජා විය. අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ පිහිටවන අවස්ථාවේ ඔහුට රුපියල් 93020/= ක ආරම්භක වැටුපක් නියම කොට තිබුණි. නමුත් සංස්ථා මණ්ඩලයද නොමග යවමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව යන ආදියේ නිසි අනුමැතින්ගෙන් තොරව සිය ආරම්භක වැටුප රුපියල් 120020/= දක්වා වැඩිකරගෙන ඇත. ඊට අමතරව සංස්ථා සේවයට පැමිණි දිනයේ සිට අතීතයට බලපැවැත්වෙන පරිදි මොහු රුපියල් 600000/= ක ආසන්න මුදලක් හිඟ වැටුප් ලෙසද ලබා ගෙන තිබේ.

ගුවන්විදුලි සංස්ථාව දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ දි සිටියදී චන්ද්‍රපාල ලියනගේ නැමැත්තා සිදුකර ඇති මෙම මුල්‍ය වංචාව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සහ සමස්ත කාර්යය මණ්ඩලය පිළිකුලෙන් යුතුව හෙළා දකී. පසුගිය 19 වෙනිදා සමස්ත කාර්යය මණ්ඩලය සදහා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පැවැත්වු රැස්වීමෙන් අනතුරුව මොහුගේ මෙම මුදල් වංචාව පිළිබදව ඔහුගෙන් සෘජුව විමසා සිටින ලදී. එහිදී චන්ද්‍රපාල ලියනගේ නැමැත්තා තමා විසින් මෙලෙස මුල්‍ය වංචාවක් සිදු කරන ලද බව සමස්ත කාර්යය මණ්ඩලය ඉදිරියේ පාපොච්ජාරණය කරන ලද අතර, එසේ ඔහු විසින් වංචනිකව ලබාගත් මුදල තමන් ගෙවීමට සුදානම් බවද ප්‍රකාශ කළේය. නමුත් සමස්ත ගුවන්විදුලි කාර්යය මණ්ඩලයම ප්‍රකාශ කළේ ගුවන්විදුලි සංස්ථාවේ මුදල් වංචා කළ අයෙකු ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට නුසුදුසු බවයි.

චන්ද්‍රපාල ලියනගේ යන අය දුෂිත ආකාරයෙන් සිය වැටුප් වැඩි කර ගැනීම පිළිබදව ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පසුගිය අප්‍රේල් මාසයේ ගුවන්විදුලි සංස්ථා සභාපතිවරයා සහ සංස්ථා මණ්ඩලය වෙතින්ද විමසා සිටි අතර, එහිදී සංස්ථා සභාපති ප්‍රමුඛ සංස්ථා මණ්ඩලය වෘත්තීය සමිති වෙත පොරොන්දු වුයේ ඒ පිළිබදව ස්වාධීන පරීක්ෂණයක් කරන බවයි. ඒ අනුව ගුවන්විදුලි අභ්‍යන්තර විගණක විසින්ද, මෙම දුෂිත වැටුප් වැඩි කිරීම පිළිබදව විමර්ෂණ වාර්තාවක් සභාපතිට භාරදී තිබේ. තවද රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ෂණ අංශයද, මේ පිළිබද විමර්ෂණයක් සිදු කරන බවද ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමා අප වෙත දැනුම් දී ඇත. එබැවින් චන්ද්‍රපාල ලියනගේ නැමැත්තාගේ දුෂිත වැටුප් වැඩි කර ගැනීම හා සබැඳි සිද්ධිය දිගුකාලීන සමස්ථ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් පමණි. ඔහුගේ මෙම දුෂිත වැටුප් වැඩිකර ගැනිමට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අල්ලස් හා දුෂණ චෝදනා විමර්ෂණ කොමිසමට පැමිණිලි කිරීම සහ ඔහුගේ සියලු දුෂිත ක්‍රියාකළාපයන් පිළිබදව නීත්‍යානුකූළව කටයුතු කිරීමටද සුදානම්ව ඇත.

චන්ද්‍රපාල ලියනගේ යන අය ප්‍රකාශ කරන පරිදි ගුවන්විදුලි සංස්ථාවේ කිසිදු ආකාරයක විනය විරෝධී හෝ නීතිය බිඳ දමන සිදුවීමක් සිදුනොවු අතර, ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ජ්‍යේෂඨ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) පී.සත්කුමාර යන මහත්වරුන් ඇති වී තිබෙන තත්ත්වය චන්ද්‍රපාල ලියනගේ යන අයට පහදා දී ඔහුට සංස්ථාවෙන් ඉවත්ව යාමට අවශ්‍ය පහසුකම් සළසන ලදී.

ගෙවී ගිය වසර 3 ක කාලය තුළ ගුවන්විදුලි සංස්ථාව පරිපාලනමය වශයෙන් විශාල බිඳවැටීමකට සහ මුල්‍යමය අර්බුදයකට තල්ලු කිරීමට චන්ද්‍රපාල ලියනගේ යන අයගේ අශීලාචාර පරිපාලන ක්‍රමවේදය ඉවහල් විය. ඔහුගේ ඇතැම් චර්යාත්මක හැසිරීම් ප්‍රසිද්ධ මාධ්‍යයක හෙළිදරව් කිරීම නුසුදුසු වන්නේ, එය ඔහුගේ පවුලේ සමීපතයන්ට අගතියක් වන බැවිනි.

ගුවන්විදුලි සංස්ථාව සතු වත්කම් ඉතා දුෂිත ආකාරයෙන් බාහිර පාර්ශවයන්ට පැවරීම සම්බන්ධයෙන් ගිවිසුම් වලට එළඹිමට මොහු උත්සාහ කළ අතර ඊට හොඳම නිදසුන ගුවන්විදුලි සංස්ථාව සතු ත්‍රිකුණාමලය විකාශණාගාරය පිහිටි ඉඩම කැබිනම් තීරණ වලට පටහැනිව පවරාදීමට ගනු ලැබු උත්සාහයයි. කිසිදු පරිපාලනමය මුලධර්මයකට අනුකූල නොවන පරිද්දෙන් අයථා පත්වීම් රාශියක් ලබාදීමට මොහු පසුගිය සමයේ කටයුතු කළේය. නමුත් වත්මන් සභාපතිවරයා එම වැරදි පත්වීම් නිවරැදි කරමින් වඩාත් සාධාරණ ලෙස එම පත්වීම් නිසි ක්‍රමවේදයකට ලබාදීමට කටයුතු කරමින් සිටී.

නීතිය අවනීතිය කළ කැළෑ නීතිය ගුවන්විදුලි සංස්ථාව තුළ ව්‍යාප්ත කළ චන්ද්‍රපාල ලියනගේ නැමැත්තා අද ගුවන්විදුලියේ කැළෑ නීතිය ඇති බවට කරන චෝදනාව පිළිකුලෙන් යුතුව බැහැර කර සිටිමු. ඔහුගේ ඒකපාර්ශවික මෙම චෝදනාව පල කිරීමට පෙර ගුවන්විදුලි සංස්ථාව වෙතින් විමසීමට සාධාචාරාත්මක වගකීමක් ඔබටද තිබුණි. නමුත් එම වගකීම ඔබ විසින් ඉටු නොකිරීම පිළිබදව ඔබ පුවත්පතට අපගේ බලවත් කණස්සල්ල ප්‍රකාශ කොට සිටිමු.

ගුවන්විදුලි සංස්ථාවටද අදාළ චෝදනාවට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතිය මත මෙම ලිපිය ඔබ වෙත යොමු කරන අතර, චන්ද්‍රපාල ලියනගේ නැමැත්තා නඟා ඇති අභූත චෝදනාවට ප්‍රතිචාර ලෙස මෙය පල කිරීමට පියවර ගන්නා ලෙස ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඔබෙන් ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා නිදහස් සේවක සංගමය

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා ජාතික සේවක සංගමය

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා ක්‍රියාකාරී සංසදය

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා මාධ්‍යවේදීන්ගේ සංගමය

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා වැඩසටහන් නිෂ්පාදක නිලධාරීන්ගේ සංගමය

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා මධ්‍යම විධායක නිලධාරීන්ගේ සංගමය

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා නිවේදක සංගමය

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සමගි සේවක සංගමය

පිටපත් - අතිගරු ජනාධිපතිතුමා

             ගරු අග්‍රාමාත්‍යතුමා

             ගරු ජනමාධ්‍යය අමාත්‍යතුමා සහ අමාත්‍යාංශ ලේකම්තුමා

             සියලුම ජනමාධ්‍යය