විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා ඇමරිකා එක්සත් ජනපද තානාපති චන්ග් හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා ඇමරිකා එක්සත් ජනපද තානාපති චන්ග් හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය. ජී එල් පීරිස් 2022 මැයි 27 වැනි සිකුරාදා දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් හමුවී ද්විපාර්ශ්වික සබඳතා, මෙරට වත්මන් ප්‍රගතිය සහ රට මුහුණ දෙන අභියෝග අවම කරගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සහය ලබාගැනීම යනාදිය පිළිබඳ පුළුල් සාකච්ඡා පැවැත්වී ය.

ජනතාව මුහුණ දෙන දුෂ්කරතා අවම කරගැනීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් ලබාදීමට මෙන්ම පැහැදිලි ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග සොයා බැලීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය. මෙවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාව බහුපාර්ශ්වික සංවිධාන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව දක්වන හිතෛශී බව සහ ඔවුන් ලබා දෙන සහය ඉතා අගය කරන බවද මහාචාර්ය පීරිස් මැතිතුමා සඳහන් කළේ ය. තවද, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග අවම කරගැනීම සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික මාර්ග ඔස්සේ එක්සත් ජනපදය සහ අනෙකුත් රටවලින් ලැබෙන අඛණ්ඩ සහයෝගය දිරිමත් කරන ලෙසද විදේශ කටයුතු අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය.

 අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ රැස්වීමේ නිදහස පිළිබඳ සියලු දෙනාගේ අයිතිවාසිකම්වලට ගරු කරමින් රටේ නීතියේ සහ සාමයේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීමට සහ පවත්වාගෙන යාමට රජය දරන ප්‍රයත්න පිළිබඳව ද විදේශ කටයුතු අමාත්‍ය පීරිස් එක්සත් ජනපද තානාපතිනිය දැනුම්වත් කළේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ සමඟ පැවති සාකච්ඡා පිළිබඳව ද එතුමා තානාපතිනිය දැනුම්වත් කළේ ය. තවද, වත්මන් ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද සංහිඳියාව හා සබැඳි ගැටලු විසඳීමට රජය පූර්ණ වශයෙන් කැපවී සිටින බවද එතුමා තානාපති චන්ග් මැතිනිය හමුවේ තහවුරු කළේ ය.

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ මිතුරෙකු බවත් රට තුළ පවතින අභියෝග පිළිබඳව එක්සත් ජනපදය මනා අවබෝධයකින් පසුවන බවත් තානාපති චන්ග් සඳහන් කළා ය. මෙම දුෂ්කර අවස්ථාවේ දී එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සිය අඛණ්ඩ සහය පිරිනමන බවද එතුමිය ප්‍රකාශ කළා ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මැයි 29වැනි දින