ගෘහ සේවකයින් ඇතුළු අවිධිමත් ක්ෂේත්‍රයේ නියැලෙන්නන් කෙරෙහි විශේෂ අවධානයක් අත්‍යවශ්‍යයි!

ගෘහ සේවකයින් ඇතුළු අවිධිමත් ක්ෂේත්‍රයේ නියැලෙන්නන් කෙරෙහි විශේෂ අවධානයක් අත්‍යවශ්‍යයි!
සෑම වසරකම ජුනි 16 දා යනු ජාත්‍යන්තර ගෘහ සේවක දිනයයි. මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිරීක්ෂණය කරනු ලබන අතර ගෝලීය ආර්ථිකයට ගෘහ සේවික සේවිකාවන්ගෙන් සැලකිය යුතු දායකත්වයක් පවත්නා බව  පිළිගනී. මෙම අත්‍යවශ්‍ය සේවකයින් සඳහා මේවන විට ජාත්‍යන්තර කම්කරු නීතිද, ප්‍රතිෂ්ඨා පනය කර තිබේ.ගෘහ සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා සාමාජික රටවලින් ඉල්ලා සිටින ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO)  අංක 189 සම්මුතිය සම්මත සම්ම කරගෙන තිබේ.  එහි 10 වැනි සංවත්සරය යෙදුණේ 2021 වසරේදීය.
 
ගෘහ සේවකයින් යනු ඇයගේ/ඔහුගේ සේවායෝජකයාගේ නිවසේ සේවය කරන අයෙකි. ගෘහස්ත අංශයේ පළමු විශේෂත්වය මෙයයි. මෙහිදී පොදු ක්ෂේත්‍රය සහ රැකියාවේ පෞද්ගලික ස්වභාවය අතර ඇත්තේ පරස්පර සම්බන්ධයකි. බොහෝ විට ගෘහ සේවිකාවක නම්  කාන්තාවන් (83%), බොහෝ විට සංක්‍රමණික සේවිකාවකි.  එයින් අදහස් වන්නේ පුද්ගලයෙකු ඇය/ඔහුගේ නිවස සහ පවුල හැර ගොස් විදේශයන්හි සේවය කිරීමට යාමයි. සමහර සංක්‍රමණික කම්කරුවන් නීතිවිරෝධී ලෙස වැඩ කරයි. ඔවුන්ගෙන් සමහරක් නූතන වහල්භාවය වැනි තත්ත්වයන් යටතේ සේවය කරයි.
 
 
ගෘහ සේවිකාවන් ගෝලීය ශ්‍රම බලකායට සහ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන අතරම, ඔවුන්ගේ දායකත්වය බොහෝ විට අවතක්සේරු වී සැඟවී යයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නීත්‍යානුකූල සේවා කොන්දේසි නොමැතිව, අඩු වැටුප් සහිතව, අධික ලෙස දිගු පැය ගණනක් වැඩ කරන අතර එමඟින් බොහෝ විට නීතිමය සහ සමාජ ආරක්ෂණ විෂය පථයෙන් බැහැර කරනු ලැබේ. එමෙන්ම ඇතැම්විට ලිංගික සහ වාචික අපචාරවලට මුහුණ දෙන්නට පවා සිදුවේ. 
 
''ටයිම් ෆෝ සමානාත්මතාවය" සංවිධානය විසින්  පසුගිය වසර කිහිපය තුළ ලක්සම්බර්ග්හි සහ ජාත්‍යන්තර මට්ටමින් ගෘහ සේවිකාවන් සඳහා යහපත් වැඩ පිළිබඳ මහජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ශ්‍රී ලංකාවේ තත්ත්වය බෙහෙවින්ම කනගාටුදායකය. ඉකුත් වසරේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දැවැන්ත අභියෝගයන්ට මුහුණදී සිටි ගෘහසේවකයින් ඇතුළු අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියා කරන්නන් මේවන විට දැවැන්ත ආර්ථික අර්බුදයේ ඉතාමත් පීඩිත ජනකොට්ඨාසය බවට පත්ව තිබේ.එහෙත් ලාංකේය පාලකයින් ඒ් වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බවක් පෙනෙන්නට නැත.
 
 
මෙරට නිවෙස්හි ගෘහස්ත කම්කරුවන් ලෙස කටයුතු කරන ගෘහ සේවක ප්‍රජාවට ද,  EPF /ETF ඇතුළු මෙරට වැඩකරන පන්තියට අදාළ කම්කරු අයිතිවාසිකම් ලබාදෙන බව එවක  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසා තිබිණි. අමාත්‍යවරයා මේ බව ප්‍ර‍කාශ කර තිබුණේ 2021 වසරේදී,  ගෘහස්ථ කම්කරුවන් අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන ආයතන කිහිපයක නියෝජිතයින් සමඟ කම්කරු  අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය. එම අවස්ථාවට එක්වූ ප්‍රොටෙක්ට් සංගමයේ ලේකම්, කල්ප මධුරංග 'වැඩබිමට' අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.
 
" අප සංගමය පසු ගිය අවුරුදු දෙක හමාර තුළ දැඩි මහන්සියකින් මෙම ක්ෂේත්‍රයේ වැඩකරන පිරිස් වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග  ගනිමින් ඉන්නවා. එහි ප්‍රථිපලයක් ලෙස ගෘහ සේවකයන් සඳහා පඩිපාලක සභාවක්, ETF EPF, අවම වේතන පනතින් කම්කරුවෙක් ලෙස පිළිගැනීම ලබා දීම සහ පාරිතෝෂික දීමනාව යන කාරණා වලට අදාළ පනත් සංශෝධන සිදු කිරීමට එදා කම්කරු ඇමතිවරයාව සිටි නිමල් සිරිපාලද සිල්වා මහතා එකඟ වුණා.  නමුත් දැන් නිමල්සිරිපාල ද සිල්වා නෑ. ඒ වෙනුවට ජනාධිපති විසින් මනූෂ නානායක්කාර පත් කර තිබෙනවා. ජනාධිපති වරයා විසින් කූට්ටමම අනන්නා සේ සිදු කරන අමාත්‍යළුරුන් වෙනස් කිරීම් අපට වැඩක් නෑ. අපගේ සටන ඇමති මාරු කිරීමෙන් මාරු වන්නක් නෙවෙයි. සටන නතර වූ තැනින් අප ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. එම සටන නැවත් ජවයකින් මේ 16 වනදා ඇරඹෙනු ඇති. මනූෂ නානායක්කාරවද,  හමු වීමට අපි බලාපොරොත්තු වෙනවා. අප සාමාජිකයන් මුහුණ දෙමින් තිබෙන අර්බූදයන් සමඟ ඔවුන් ද කම්කරු කාර්‍යාලය හෝ ජනපති නිවස වුවද වටලනු නිසැකයි"
 
මෙවර ගෘහස්ථ සේවකයින්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් මෙරට සිදුකෙරෙන අරගලයට " බඩු මිල දරන්න බෑ - ජනතාවට සහන දෙනු",'ගෘහ සේවක අයිතිවාසිකම් නීතිගත කරනු", 'ජන පීඩක පාලනය අවසන් කරමු", 'ජනතා බලයක් ගොඩ නඟමු" යන සටන්පාඨ බලාත්මක කරන බව කල්ප මධුරංග වැඩිදුරටත් සඳහන් කළේය.
 
මේ වන විට රට පුරා 85,000 ආසන්න පිරිසක් ගෘහස්ථ කම්කරුවන් ලෙස සේවය කරමින් සිටියි. එදිනෙදා ජීවිත්වීම පවා පොදුවේ සියලු ජනයාට දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇති මොහොතක, වඩාත් පීඩාවට පත් 'ගෘහස්ත කම්කරුවන් ඇතුළු අවිධිමත් ක්ෂේත්‍රයේ ප්‍රජාව" කෙරෙහි වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුමය.
 
 

පී.ඩබ් මුතුකුඩආරච්චි