ඉන්ධන අර්බුදයෙන් සීනි කර්මාන්ත ශාලාව තාවකාලිකව වැසෙයි

ඉන්ධන අර්බුදයෙන් සීනි කර්මාන්ත ශාලාව තාවකාලිකව වැසෙයි
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තශාලාව තාවකාලිකව වසාදැමීමට පාලනාධිකාරිය තීරණයකර තිබෙන බව වාර්තා වේ.
 
වර්තමානයේ රට තුළ උද්ගතව ඇති ඉන්ධන අර්බුදය මත උක්ගස් රැගෙන නොඑන ලෙස ගොවීන්ට උපදෙස්දී ඇති අතර මේ වනවිට කපා ඇති උක්දඬු පමණක් ඇඹරීමට කටයුතු කරන බව පැල්වත්ත ඒකකයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මේජර් වජිර කුමාරතුංග මහතා පැවසීය.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මේජර් වජිර කුමාරතුංග මහතා  සඳහන් කළේ කර්මාන්තශාලාවේ ටර්බයින් යන්ත්‍රය අක්‍රීයවී ඇති අතර කර්මාන්ත ශාලාවට විදුලිය ලබාදී ඇත්තේ ඩීසල් මගින් ක්‍රියාත්මක කරන විදුලි උත්පාදක යන්ත්‍රයක් මඟින් බවයි.
 
තවද දිනකට කර්මාන්තශාලාවට සහ අනෙකුත් වාහනවලට ඩීසල් ලීටර් හාරදහසක් පමණ අවශ්‍යවන නමුත් මේවනවිට ඩීසල් නොලැබෙන නිසා තාවකාලිකව කර්මාන්ත ශාලාව වසාදමා තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
 
එමෙන්ම අත්‍යාවශ්‍ය සේවකයින් පමණක් සේවයට කැඳවන බවත් හෙතෙම පැවසීය.