මෙය බොහෝ විට රනිල්ගේ අවසන් වරද්දා ගැනීම විය හැකියි

මෙය බොහෝ විට රනිල්ගේ අවසන් වරද්දා ගැනීම විය හැකියි

රට දේශපාලන පරිවර්තනයක්  ඉල්ලන මොහොතක, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මුග්ධ දේශපාලන හැසිරීම, දේශපාලන පරිචයක් ඇති කිසිවෙකුට හෝ අනුමත කල නොහැකි බවත්,  එමගින් ඔහු දේශපාලන පරිවර්තනයක් සදහා භාවිත කල හැකිව තිබූ ස්වර්ණමය ඉඩ විනාශ කරගත් අතර, රට වෙනුවෙන් දේශපාලන කෘතහස්තයෙකු වීමට ඔහුට ලැබුණු අවසන් අවස්ථාවද මග හැර ඇති බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ, සම කැදවුම්කරු, රවී කුමුදේශ් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, "අරගලය" යණු බහුතර මහජනතාවගේ දේශපාලන, සමාජ හා ආර්ථික පරිවර්තනයට අදාල පිපාසාව වන බැවින්, එය තුවක්කු කටකින් මර්ධනය කිරීමට උත්සාහ කිරීම පවා විහිළුවකි.

ලොව දක්ෂතම හමුදාව යොදවා, පොල්පිත්තක් හෝ අතේ නැති අරගලකරුවෙකු මර්ධනය කිරීම සදහා මහා ලොකු දේශපාලන හැකියාවක් අවශ්‍ය නොවන අතර, දශක පහකටත් වඩා වැඩි කාලයක් දේශපාලනය කල රනිල් වැන්නෙකු මෙවන් අදබාල තීරණයක් ගණු ලැබූවේ පියවි සිහියෙන්නද යන්න පවා සිතිය යුතුව තිබේ.

කෙසේ නමුත්, සමාජ පරිවර්තනය ඉල්ලා සිදු කෙරෙන ජන අරගලය ජයග්‍රහණය කිරීම අනිවාර්යක් වන අතර, ඒ අරගලයට අවශ්‍ය නායකයා රනිල් නොවන බව පැය 24ක් ගත වෙන්නටත් මත්තෙන්, රනිල් වික්‍රමසිංහ මහතා ඔප්පු කර  තිබේ. රනිල්ගේ එම භාවිතාව විසින්ම අරගලයේ සහ සමාජ පරිවර්තනයේ ද්‍රෝහියෙකු බවට පත් වූ රනිල්, ඉදිරියේදී රටේ ඇතිවිය හැකි ව්‍යසනකාරි තත්වයන්ට සෘජුවම වග කිව යුතුය.