වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙත ප්‍රහාරවලට නීතිය ක්‍රියාත්මක නොවුනහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙත ප්‍රහාරවලට නීතිය ක්‍රියාත්මක නොවුනහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා

මෑත කාලීනව වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩල වෙත ස්ථාන කිහිපයකදී එල්ල වූ මැර ප්‍රහාර වලට විරෝධය පල කිරීම හා ඒ සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉලක්ක කරගත් මැර ප්‍රහාර සිදු වීම් කිහිපයක් පිළිබඳ පසුගිය කාලය තුල අපගේ ශාඛා සංගම් විසින් අප වෙත දැනුම් දී ඇති බවත්, හුදකලා සිදුවීම් ලෙස බැලු බැල්මට පෙනීයන මෙම සිදුවීම් වලට එරෙහිව අදාල ශාඛා සංගම් විසින් විධායක සංගම් උපදෙස් මත මේ වන විටත් නිසි ක්‍රියාමාර්ග දියත් කර ඇති බවයි.

ඒ අනුව, තැනින් තැන වාර්තා වූ සිදුවීම් අතර,

  1. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වෙත එල්ල වූ ප්‍රහාරය,
  2. පොලොන්නරුව ජයන්තිපුර පුනරුත්ථාපන රෝහල ආශ්‍රීතව ඊයේ දිනයේදී වෛද්‍යවරයෙකුට සිදු කළ පහර දීම,

බරපතල ලෙස කැපී පෙනෙයි.

මීට අමතරව පසුගිය කාලය තුල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන පහසුකම් ලබා දීමේ ක්‍රියාවලිය තුලද විවිධ මට්ටම් වලින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පිරවුම්හල් ආශ්‍රිතව වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්‌ඩල වලට විවිධ බාධා කිරීම් හා හිංසන සිදුවීම් ගණනාවකට මුහුණ දීමට සිදු විය.

මෙම සමහරක් සිදුවීම් වලදි නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා යොදවා සිටින පොලිසියේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්නකාරි වූ බව කිව යුතුමය. විශේෂයෙන්ම දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිදු වූ සිදුවීම් වලදි ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාට බරපතල චෝදනා එල්ල වී තිබේ. මේ පිළිබඳව පොලිස්පතිවරයා ඇතුලු බලධාරීන් වෙත ලිඛිතව පැමිණිලි කර ඇති අතර පූර්ණ අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙස අප විසින් අවධාරණය කර ඇත.

ඒ අනුව ආරම්භ කර ඇති විමර්ෂණයේ ප්‍රතිඵල දෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස සමීපව බලා සිටිමු. ඇතිවු එකඟත්වය මත සමස්ථ නැගෙනහිර පලාතේ ක්‍රියාත්මක වූ සෞඛ්‍ය කාර්යමණ්ඩල වැඩවර්ජනය නිමාවට පත් කලද ඉදිරි කාලය තුල පිළිගත හැකි විසදුම් නොලදහොත් නැවත වටයකින් නැගෙනහිර පළාත තුල සේවාවන් බිඳ වැටීම නොවැළැක්විය හැකි වනු ඇත.

ඊයේ දිනයේ පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ සිදුවීමද ඉතා බරපතල ලෙස සැලකීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අදහස් කරමු.

මේ වන විටත් අදාල රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු කාර්යමණ්ඩලය ඉවත් කර ‌ගෙන ඇති අතර චුදිත පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගැණුනද කාර්යමණ්ඩලය සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් මේ දක්වාත් සපයා නොමැති පසුබිමක රෝහලේ කටයුතු මුළුමනින්ම බිඳ වැටි ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස ඉහත නිර්ලජ්ජිත සිදුවීම් පිලිකුලෙන් යුක්තව හෙලා දකිමු. ඒ සඳහා අපගේ බලවත් විරෝධය පල කරමු.

මෙවන් සිදු වීම් වලදි එයට එරෙහිව ගත හැකි උපරිම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කරා යාමට සංගමයක් ලෙස පසුබට නොවන බව අවධාරණය කරමු.

රට තුල නීතියේ ආධිපත්‍යය තහවුරු කර පුද්ගලයන් නීතිය තම අණසකට ගැනීම නතර කිරීම පාලකයින්ගේ වගකීම බව දන්වා සිටිමු.