අරගලකරුවන්ට අමානුෂික පහරදීම ජනාධිපතිවරයාගේ කතාව හා ක්‍රියාව අතර බරපතල පරස්පරයක්

අරගලකරුවන්ට අමානුෂික පහරදීම ජනාධිපතිවරයාගේ කතාව හා ක්‍රියාව අතර බරපතල පරස්පරයක්

පසුගිය ජුලි 21 වැනි දා මධ්‍යම රාත්‍රියේ පොලිසිය සහ ආරක්ෂක හමුදා විසින් ගෝටා ගෝ ගම දින සියයකට අධික කාලයක් සාමකාමී උද්ඝෝෂණයක යෙදී සිටි තරුණ තරුණියන්ට කුරිරු ලෙස පහර දී බරපතළ තුවාල සිදු කොට ඔවුන් සිටි කූඩාරම් කඩා බිඳ දමා පිරිසක් අත් අඩංගුවට ගෙන රඳවා සිටීම අපි පිළිකුලෙන් තරයේ හෙළා දකින බව ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැක ගැනීමේ ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අරගලකරුවන්ට සාමකාමී ව උද්ඝෝෂණය කිරීමට පහසුකම් සපයන බවට පොරොන්දු වූ අගමැති රනිල් වික‍්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත්ව දින කීපයක් ඇතුළත මෙවැනි අමානුෂික පියවරක් ගැනීම ඔහුගේ කතාව සහ ක්‍රියාව අතර පවතින බරපතළ පරස්පරය මැනැවින් විදහා දක්වයි.

මධ්‍යම රාත්‍රියේ ගණ අඳුර මැදින් ආ අවිගත් හමුදා භටයන් සහ පොලිසිය ඉවක් බවක් නැතිව ප්‍රහාර එල්ල කර ඇත්තේ ත්‍රස්තවාදී මෙහෙයුමක යෙදෙන ආකාරයෙනි. ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා පොලු මුගුරුවලින් පහර දී ඇත්තේ අරගලයේ යෙදී සිටි අයට පමණක් නොවේ. එහි සිටි දෙස් විදෙස් ජනමාධ්‍ය කරුවන් ද ප්‍රහාරයට ලක් කිරීමෙන් නීතිය සහ සාමය රැකීමට සිටින නිලධාරීන් නීතිය හෝ ආචාර ධර්ම නොතකා ක්‍රියා කර ඇති අවිචාරමත් ආකාරය ලෝකයට ම විදහා දක්වයි.

මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ ව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම ලංකාවේ මානව අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට නියමිතව තිබිය දී මෙවැනි අනීතික අවමන් සහගත ක්‍රියාවක් සිදු කිරීම අමනෝඥ ක්‍රියාවකි. මෙවැනි දේ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට ජාත්‍යන්තරයේ සහාය යදිමින් සිටින ලංකාවේ ප්‍රතිරූපයට වඩාත් හානිකර බව නව පාලකයන් තේරුම් නොගැනීම ද අභාග්‍යයකි.

රටේ සම්පත් කොල්ල කෑමෙන් රටම අගාධයකට පත්ව ඇති අවස්ථාවක ඊට විරෝධය දැක්වීමත් පාලකයන්ට එරෙහිව උද්ඝෝෂණය කිරීමත් ජනතාව සතු පරම අයිතියකි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් ඉක්මවා යන පරමාධිපත්‍යය පිළිබඳ අත්නොහැරිය හැකි මානව උරුමයකි.

සාධාරණ ඉල්ලීම් මැර බලයෙන් යටපත් කිරීම නිසා මුළු රටම යුද ගින්නෙන් දැවී ගිය මෑත අතීතයක් ඇති අප නැවත වරක් එම ව්‍යසනයට ලක් නොකරන මෙන් පාලකයන්ගෙන් ඉල්ලා සිටිමු.

සෞභාග්‍යයේ මාවත වැටී ඇත්තේ යුක්තිය සහ සාධාරණත්වය තුළින් බව නැවතත් අවධාරණය කරමු.