ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

දේශපාලන ස්ථාවරත්වය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම ශක්තිමත් කරමින් ආර්ථිකය යළි පිළිසකර කිරීම වෙනුවෙන් ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති අදහස් කර ඇති බැවින් එවැනි සාකච්ඡාවකට සුදුසු ඉක්මන් දිනයක් හා වේලාවක් අප වෙත දන්වා එවන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ජනාධිපති ලෙස ඔබ සමග නොපමාව සාකච්ඡාවක් මෙමගින් ඉල්ලීම අප කරණුයේ ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති 12 ක් ලෙස 2022 ජූලි මස 20 වන දින පාර්ලිමේන්තුවෙහි පවත්වන ලද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඔබ ඇතුළු අපේක්‍ෂකයින් තිදෙනා වෙත භාර දුන් 2022 ජූලි මස 19 වන දිනැති අපගේ ලිපියෙහි ඡායාගත පිටපත සහ එය භාරදුන් ආවරණ ලිපියෙහි  පිටපත ඔබගේ  පහසුව සඳහා මේ සමග අමුණා ඇත.

එම ලිපියෙන් රටේ පවතින අර්බුදයට විසඳුම් වශයෙන් අප යෝජනා 9 ක් ඉදිරිපත් කරන ලද අතර එමගින් අඩු ආදායම්ලාභී ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙලක් දෙසතියක් තුළ ක්‍රියාත්මක කළ යුතු යැයි ජනාධිපති ලෙස පත්වන අපේක්ෂකයාගෙන් අප ඉල්ලා ඇත. එළෙසම ජනාධිපති ලෙස පත්වන ජනාධිපති අපේක්‍ෂකයින්ගේ කෙටි කාලීන හා දිර්ඝ කාලීන වැඩපිළිවෙල ජනතාව වෙත ඉදිරිපත් කරන ලෙස ද අපි ඉල්ලා සිටියෙමු.

මේ වනවිට වෙනස් වූ දේශපාලන තත්ත්වයන් සමග, එකී ලිපියෙහි අප අපගේ කණස්සල්ල සටහන් කළ ප්‍රධාන කාරණාවක් වෙත විශේෂ අවධානය යොමු කළ යුතුව ඇත. “විවිධ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මකවන ජන සමාජයේ මූලික අවශ්‍යතා සපුරන බොහෝ ආයතන හදිසි නීතිය යටතේ ගැසට් නිවේදනයක් මගින් ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගැනීම” පිළිබඳව අපගේ කියවීම මෙලෙස අප එහි සටහන් කළෙමු. “ආයෝජකයින් පැමිණෙන්නේත් නිෂ්පාදන ක්‍රියාවලිය වඩා පලදායි ලෙස පවත්වා ගත හැක්කේත් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක බැව්” අපි එහි අවධාරණය කළෙමු. “එබැවින් මේ තත්ත්වයට මුහුණ දිය හැක්කේ වඩ වඩාත් බලහත්කාර, අධිකාරවාදී පාලනයක් සඳහා පියවර ගැනීමෙන් නොවන බව අපි එකහෙළා කියමු.” යැයි අපි එහි පැහැදිළිව කීවෙමු. ඒ අනුව මේ වන විටත් වෘත්තීය සමිති නායකයෙකු වන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සහෝදරයා ද ලංකා බැංකු සංගමයේ හිටපු සභාපති පාලිත ඇටම්පොල සහ ලේකම් ධනංජය සිරිවර්ධන ද යන අය අත්අඩංගුවට ගැනීම සහ විරුද්ධවාදින් මර්දනය කිරීම පිළිබඳව ද අපගේ විරුද්ධත්වය පළ කරන අතර එළෙස අත්අඩංගුවට ගැනීම් පිළිබඳව ඔබ සමග සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තුවෙමු.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ එම කාරණාව ද ඇතුළුව ක්‍ෂණිකව අවශ්‍යව ඇති අප ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව ජනාධිපති ලෙස තේරී පත්වී ඇති ඔබ සමග සාකච්ඡා කිරීමට ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන පහත නම් සඳහන් වෘත්තීය සමිති අදහස් කර ඇති බැවින් එවැනි සාකච්ඡාවකට සුදුසු ඉක්මන් දිනයක් හා වේලාවක් අප වෙත දන්වා එවන ලෙස අපි ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

  1. නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය
  2. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය
  3. ලංකා ජාතික වතු කම්කරු සංගමය
  4. ලංකා වෘත්තීය සමිති සම්මේලනය
  5. ශ්‍රී ලංකා නාවිකයින්ගේ සංගමය
  6. එක්සත් කම්කරු සම්මේලනය
  7. ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය
  8. ලංකා වතු සේවක සංගමය
  9. ලංකා බැංකු සේවක සංගමය
  10. ජාතික සේවක සංගමය
  11. අන්තර් සමාගම් සේවක සංගමය
  12. ලංකා කම්කරු සම්මේලනය