මන්ද පෝෂණ තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා බලධාරීන් සතු වගකීම

මන්ද පෝෂණ තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා බලධාරීන් සතු වගකීම

රට තුළ පවතින ආර්ථික, සමාජ සහ දේශපාලන අර්බුදයේ ප්‍රතිඵල ලෙස තවත් ද්විතීයික අර්බුද රාශියක් නිර්මාණය වී ඇත. අධ්‍යාපනය අඩාල වීම, ඉන්ධන සහ බලශක්ති අර්බුදය, පෝෂණ ගැටලු, සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම ආදිය ඉන් කිහිපයක් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ඉදිරියේදී මන්දපෝෂණ අවදානමක් රට තුළ මතුවීමට අවශ්‍ය පසුබිම් සාධක මේ වනවිට නිර්මාණය වෙමින් පවතින බව අපි දිගින් දිගටම දැනුවත් කළෙමු.

පවතින ආර්ථික අර්බුදය හමුවේ වේගයෙන් ඉහළ යන උද්ධමනයත්, මිලදී ගැනීමේ හැකියාව අඩුවීමත් තුළ තම ආහාර හා පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම ජනතාවට විශාල අභියෝගයක් බවට පත්වී ඇත.

කුටුම්භය තුළ ආදායම සහ වියදම කළමනාකරණය කරගනිමින් ආහාර අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන්,  ලබා ගන්නා ආහාර ප්‍රමාණය අවම කිරීම හෝ ආහාරයේ ගුණාත්මකභාවය අවම කිරීම යන විකල්ප කරා යොමුවීමට ජනතාවට සිදුවී ඇත.

මෙම තත්ත්වය දීර්ඝ  කාලයක් තිස්සේ පැවතීම හරහා ළදරු - ළමා පිරිස් සහ ගර්භනී කාන්තාවන් වැනි අවදානම් කණ්ඩායම් ඉදිරියේදී මන්දපෝෂණ තත්ත්වයකට ගොදුරු වීමේ ඉඩක් ඇති බව අපගේ නිරීක්ෂණයයි.

වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමා විසින්ද අධික උද්ධමනයෙන් වෙනස් වී ඇති ආහාර රටාව නිසා ඉදිරියේදී මන්දපෝෂණ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බව මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබෙනු දක්නට ලැබුනි.

මෙම තත්ත්වය පුරෝකථනය කල රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් රට තුළ පෝෂණ ගැටලු විසඳීම සඳහා සය වැදෑරුම් යෝජනාවලියක්ද ඉදිරිපත් කරන ලදී.

මේ වන විට රට තුළ ඇති පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මක සහ නිරවද්‍ය දත්ත නොමැති වීම නිවැරදි කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දෙන ලදී.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය පෝෂණ දත්ත එක්රැස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අරඹා ඇත. එහිදී ඔක්තෝබර් මාසය තුළ දී ජාතික පෝෂණ මාසයට අදාල වැඩසටහනත්, ඉදිරියේදී ජාතික ජන විද්‍යාත්මක සමීක්ෂණ සිදු කිරීමටත් අවශ්‍ය මූලික කටයුතු අරඹා තිබීම ප්‍රශස්ත කරුණකි.

එසේ ලබාගන්නා දත්ත විශ්ලේෂණය කර ආහාර සහ පෝෂණය ගැටළුවට දීර්ඝ කාලීන විසඳුම් ලබාදීම සඳහා සියලු පාර්ශව එක් කර ගනිමින් අන්තර් පාර්ශවීය යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව අපගේ ප්‍රධානතම යෝජනාවක් විය.

ඒ අනුව මීට සති දෙකකට පෙර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම ජාතික යාන්ත්‍රණය පිහිටුවනු ලැබූ අතර එහි ප්‍රාදේශීය කමිටු පිහිටුවා මේ වන විට මූලික වැඩකටයුතු ආරම්භ කර ඇත.

එහෙත් වැදගත් කරුණ වනුයේ එම වැඩසටහන් සහ සාකච්ඡා ඔස්සේ ගන්නා තීරණ වහාම බිම් මට්ටමේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමයි.

එහිදී අවදානම් ජන කණ්ඩායම් සහ ප්‍රදේශ හඳුනා ගනිමින් ඉලක්කගත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යය.

තොරතුරු තිබියදී නිවැරදි තීරණ නිවැරදි මොහොතේ ක්‍රියාත්මක නොකිරීම අර්බුදයන්ට මඟ පාදනු ලබන බව ඉතිහාසය සාක්ෂි දරයි.

එබැවින් මේ මොහොතේ සැබෑ ගැටලු සහ ප්‍රමුඛතා හඳුනා ගනිමින් අනාගත ජාතික ශ්‍රම බලකාය දුර්වල වීමේ අවදානම වැළැක්වීමට හැකි වන අතර ඒ වෙනුවෙන් ගන්නා සාධනීය ක්‍රියාමාර්ගයන්ට පූර්ණ සහයෝගය ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය සූදානම් බවද ප්‍රකාශ කරමු.