කල යුතු පරීක්ෂණ ගැන නොදැන, නොකරන පරීක්ෂණ ගැන හොයන්න බැහැ - රවී කුමුදේශ්

කල යුතු පරීක්ෂණ ගැන නොදැන, නොකරන පරීක්ෂණ ගැන හොයන්න බැහැ - රවී කුමුදේශ්

ජාතික රෝහලෙහි අත්‍යවශ්‍ය පරීක්ෂණ සිදු නොකිරීම පිළිබදව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශ කණ්ඩායමක් යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන අතර, එවන් කණ්ඩායමක් පැමිණියද, ඔවුන් පවතින ගැටලුව පිළිබඳව නිසි අවධානයක් යොමු කරනවාට වඩා, එය සාමාන්‍යකරණය කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට තිබෙන බව, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

නොකරන පරීක්ෂණ සංඛ්‍යාව හෙලිදරව් කර ගැනීම සදහා අවම තරමින් ඒ ඒ රසායනාගාරවල කල යුතු පරීක්ෂණ මොනාවාද යන්න පිළිබදව පවා නිසි අවබොධයක් නොමැතිව ඔවුන් කටයුතු කරන බවක් පෙනෙන්ට තිබෙන බව එම සගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කරයි. අත්‍යවශ්‍ය පරීක්ෂණ සිදු නොකිරීම, අනවශ්‍ය ලෙස යන්ත්‍ර මිල දී ගැනීම, ඒකක පරීක්ෂණ මිල විශාල ලෙස ඉහල දමා ගැනීම, පෞද්ගලක රසායනාගාර වෙත වාසි සහගත තත්වයක් ඇතිවන ලෙස කටයුතු කිරීම, වැනි ගැටලු රැසක් විමර්ෂණය කිරීමට පැමිණි අමාත්‍යාංශ නිලධාරීන්, "විශාල ගැටලුවක් නොමැති බවට" සටහනක් තබා පැමිණ, අදාල සොයා බැලීම් සිදු කරන බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම මේ තත්ත්වයට සෘජු ලෙසම වග කිවයුතු රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් සැබෑ ගැටළුව හදුනා ගත නොහැකි බව ඒ මහතා වැඩිපුරටත් පැවසීය.

මාස කිහිපයකට කලින් ලබා දී තිබූ ගැණුම් ඇණවුම (Purchase Order) සදහා ප්‍රතික්‍රීයක ලබාදීම ප්‍රතික්ෂේප කරමින් සිටි සමාගමක්, අමාත්‍යාංශ කණ්ඩායම පැමිණීමට පැය කිහිපයකට කලින් ප්‍රතික්‍රීයක කට්ටල කිහිපයක් සාමාන්‍ය ක්‍රමවේදය පවා අනුගමනය නොකරමින් ලහි ලහියේ ලබා දී ඇත. දින කිහිපයකට පමණක් ප්‍රමාණවත් එම ප්‍රතික්‍රීයක යොදා ගනිමින් නතර කර දමා තිබූ පරීක්ෂණ කිහිපයක් සිදු නැවත සිදු කලද, එය සැලසුම් සහගත නොමග යැවීමක් මිස විසදීමක් නොවේ. එම ප්‍රතික්‍රීයක කට්ටල කිහිපය ලබා දී ඇත්තේද සාමාන්‍ය ක්‍රමවේදය හරහා නොවන අතර, සමාගම විසින් මාස කිහිපයක් තිස්සේ ප්‍රතික්‍රීයක ලබා නොදීමට අදාලව ඉදිරිපත් කරන ලද්දේ සාවද්‍ය කරුණු බවද ඉන් තහවුරු වන බව රවි කුමුදේස් මහතා වැඩිදුරටත් පවසා සිටියේ.