ලෝක ගුරු දිනය සෑම වසරකම ඔක්තෝබර් 05 වනදා යෙදුණ ද ශ්‍රී ලංකාවේ එම දිනය සමරනු ලබන්නේ, ඔක්තෝබර් 06 වන දිනය. ඊට නිශ්චිත හේතුවක් නොමැත. කෙසේ වෙතත්, පසුගිය වසර කිහිපයක තුළ ගුරු දිනයේ දී බුකියේ හුවමාරු වන ඡායාරූපයක් නිතරම හිතට වද දෙමින් තිබුණි.
| ශර්මමිලා විනෝදනි
එම ඡායාරූපයේ කථාව සම්බන්ධයෙන් දළ අදහසක් මා තුළ එම අවස්ථාවේදී ඇති වූව ද, එහි සත්‍ය කතාව පසුපස හඹා යාමට නොහැකි විය. එහෙත් 2020 වසරේ එම ඡායාරූපයේ අතුරු කතාවක් දෙමළ බසින් ශර්මිලා විනෝදනි නමැති මාධ්‍යවේදීනිය සිය ෆේස්බුක් ගිණුමෙහි තබා තිබුණා ය. එහි සිංහල පරිවර්තනය පහතින්...
අපගේ අධ්‍යාපන කටයුතු සිදු වූයේ මෙවැනි වටපිටාවකයි. ඔවුන් අපව ආරක්ෂා කළේ මෙලෙසයි.
-----------------------------------------------------------------------------------------------
1995 වසරේ මුල් භාගයේ සන්ධ්‍යාවේ සිදු වූ එක්තරා සිදුවීමක් අදටත් මාගේ මතකයෙන් ඉවත්ව නැත.
එය යාපන දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා යුද හමුදා පාලනයට නතු කරගැනීමට පෙර අවධිය යි. හයහතර නොදන්නා කුඩා දරුවන් වන අප අමතර පංතියක ඉගෙනීමේ කටයුතු සිදු කරමින් සිටියෙමු. පාඩම පැහැදිලි කරමින් සිටි ගුරුවරයාගේ හඬ පරයා යමින්, අහස දෙබෑ කරන ශබ්දයක් පංතියේ සිටි අපට ඇසුණි.
“ළමයිනේ, කෆීර් එක එනවා.. එළියට දුවන්න.. ගිහින් බිම නිදාගන්න..” පාඩම් කියා දෙමින් සිටි ගුරුවරයා හඬ නගා පැවසුවේ ය.
කුඩා නිවසක සාලයේ මෙම අමතර පංතිය පැවැත්වෙමින් තිබුණි. වහාම ක්‍රියාත්මක වූ ගුරුතුමා අප සමඟින් පංතියෙන් එළියට පැන්නේ ය. අප මිදුලෙහි තිබු කොස් ගසක් අසළ බිම වැතිර ගත්තෙමු. එදින පැවැති වර්ෂාව හේතුවෙන් මඩ වී තිබු පොළව මත වැතිර සිටි මා කෆීර් යානය ගමන් කරන වට ප්‍රමාණය ගණන් කිරීම ඇරඹුවෙමි. පුකාර, සුපර් සොනික් යන නවීන ප්‍රහාරක ජෙට් යානාවලට අමතරව ඊශ්‍රායිල නිෂ්පාදනයක් වන මිනිස් මාංශ සොයා ඉහළ අහසේ පියාසර කරන පක්ෂියෙකු වන කෆීර් යානය දකුණු ආසියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරීය යන විරුදාවලිය ලත් සිරිමාවෝ බණ්ඩානායකගේ දියණිය වන එවක රාජ්‍ය නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක මිල දී ගෙන තිබුණා ය.
මෙම යානය බෝම්බ හෙළනු ලබන්නේ අමුතු රටාවකට ය. කෆීර් යානය ගුවන් ගත කිරීමට පෙර කුරුමිණියා (බඹරා) ලෙස හඳුන්වනු ලබන කුඩා වර්ගයේ යානයක් ඉහළ අහසේ පියාසර කර ඉලක්ක හඳුනාගනු ලබයි. එය දුටු විට අනතුරක පෙර නිමිති දකින ජනයා වහා සැඟවීමට හෝ වැතිරීමට සුදුසු ස්ථාන සොයන්නේ, සිතෙහි ඇති වන මරණ බියත් සමඟින් ය. කුඩා යානය පැමිණ ස්වල්ප වේලාවකින් දෙසවන් බිහිරි කරවන ශබ්දයක් නගමින් බෝම්බ රැගත් කෆීර් යානය පලාලි සිට දැඩි කුසගින්නකින් ඉහළ අහස බලා ගමන් ආරම්භ කරයි. සමහර අවස්ථාවලදී මෙම යානා ද්වීත්වයම එකට පැමිණෙයි. එලෙස පැමිණෙන යානය අහසේ වට දෙකක් ගසමින්, තෙවන වටයේ දී ඉතා ඉක්මනින් බෝම්බ හෙළා ඉහළ අහසට නගියි. ඒ භූමියෙන් එල්ල වන ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහාය.
පංතිය තුළ සිටි බැවින් අපට කුඩා යානයේ පැමිණීම නිරීක්ෂණය කරගත නොහැකි විය. කෆීර් යානයෙන් අපව ආරක්ෂා කරගැනීමට කොස් ගස යට දිගා වන ලෙස උපදෙස් ලබා දී, අප සමගින් එම ගස යට දිගා වී සිටි ගුරුතුමා කෆීර් යානයේ හැසිරීම නිරීක්ෂණය කරමින් සිටියා විය යුතුයි.
“ළමයිනේ, මෙහෙට තමා දාන්න යන්නේ.. අර පැත්තට දුවන්න.. ගිහින් බිම නිදාගන්න..” යනුවෙන් පැවසු ගුරුතුමාගේ හඬ ඇසුණ විගස, මරණ බිය ශරීරය පුරා ගමන් කරන්නට විය. අප සියලු දෙනා වහා දිව ගොස් පංතිය පිටුපස තිබු වැලි පිට්ටනියක් මත දිගා වුණෙමු. කෆීර් යානයේ පළමු වටයේ අවසානයත්, දෙවන වටයේ ආරම්භයත් අතර මේ සියල්ල සිදු විය යුතුය. එසේ නොමැති වූවහොත් බිමට වැටෙන බෝම්බවලට හසු වී සිරුරු කීතු කීතුවලට ඉරෙනු ඇත.
මේ වනවිට කෆීර් යානය දෙවන වටය ආරම්භ කර තිබුණි. එම වැලි පිට්ටනියේ පැළවී තිබු කුඩා කොහොඹ පැළයක් මත මා වැටී සිටියෙමි. ගුවනින් හෙළන බෝම්බවලින් ආරක්ෂා වීම සඳහා බිම වැතිරීමේ ශිල්පයත් මනා ලෙස ප්‍රගුණ කර තිබිය යුතුය.
එම ශිල්පය අපට පාසලේ දී සහ නිවෙස් දී පුරුදු පුහුණු කරවන ලදි. කෆීර් යාන ගුවනේ සැරිසරන විට විශාල ගස් සහ ගොඩනැගිලි ඇති ස්ථානවලින් හැකිතාක් දුරකට දිව යා යුතුය. එලෙස දිව ගොස් පපුව බිම නොවදින සේ බිම දිගා වී දෑත්වලින් දෙකන් වසාගත යුතුය. අපගේ අසුබ වේලාවකට ඉහළින් වැටෙන බෝම්බ අප අසලට වැටීමෙන් පොළවෙහි ඇති වන කම්පනයෙන් කනට සහ හෘදයට ඇති වන බලපෑම වළක්වා ගැනීමට මෙම පියවර අනුගමන කළ යුතුය.
අප සිටින ස්ථානයේ බංකරයක් තිබේ නම් ඒ තුළට ගොසින් ජීවිතය ආරක්ෂා කරගත හැකිය.
එසේ නොමැති අවස්ථාවක පොළවේ වැතිර බිමට වැටෙන බෝම්බවලින් පිටවන සෙල්සියස් අංශක 60,70ත් අතර ප්‍රමාණයේ තාපය ද දරාගෙන ජීවිතය ආරක්ෂා කර ගත යුතුය.
මේ වනවිට කෆීර් යානය සිය දෙවන වටය අවසන් කර තිබුණි. එහි තෙවන වටයේ දී අප සිටින අවට බෝම්බ කිහිපයක් හෙළනු ඇත. කෆීර් යානය පහතට පැමිණ ඇති බව අවට පරිසරයේ ඇති වූ දෝංකාරයෙන් අපට අවබෝධ විය. බෝම්බ බිමට පතිත වෙමින් තිබුණි. කොහොඹ ගසෙහි අතු, අලියෙකුගේ මුඛයට හසු වූ උක්ගස් මෙන් පොඩිපට්ටම් වෙමින් මෙම කුඩා දරුවගේ මුහුණ මතට වැටෙන ආකාරයකට එම ශබ්දය දැනුණි.
අම්මා.. අම්මා... මාගේ දෑස් කඳුළින් තෙමුණි. මව ගැන සිතමින් මා බිම වැතිර සිටියෙමි. බියෙන් මුළු සර්වාංගයම වෙව්ලන්නට විය. සිරුර දහදියෙන් තෙමී තිබුණි. ගණ දෙවියනේ, වෛරව දෙවියනේ, අම්මාලච්චි, ජේසුනි... බෝම්බ අපගේ සිරුර මතට නොවැටි තිබිය යුතුයි යනුවෙන් පවසමින් දන්නා සෑම දෙවියෙකුගෙන්ම වැඳ ඉල්ලුවෙමි. පිහිටට එන ලෙස ආරාධනා කළෙමි. මෙවැනි අවස්ථාවක දී ඔවුන්ගේ පිහිට පැතීම වෙනම කතාවකි.
අහසින් පොළවට පතිත වූ බෝම්බ මාගේ පිට මැදට වැටුණා සේ දැනුණි. දෙසවන් බිහිරි කරමින් බෝම්බ පිපිරෙන හඬ ඇසුණි. දෑස් සහ දෙකන් වසා මා පොළව මත වැතිර සිටියෙමි. මව නමැති මන්ත්‍රයේ වටිනාකම ගුවන්ටත්, සයුරටත් වඩා විශාල යැයි මා හට එම අවස්ථාවේ දී දැනුණි. ඒ වනවිට ශරීර ශක්තිය හීන වී තිබුණි.
මේ වනවිට ඝෝෂාවන් අඩු වී පරිසරය තුළ නිසල බවක් පැතිරෙන විට ඇවිදින ජනයාගේ පා හඬ ඇසුණි.
“ළමයිනේ, නැගිටින්න.. කෆීර් ගිහින්.. දැන් ගෙදර යන්න. හෙට ටයිම් ටේබල් එකේ තියෙන විදිහට පංතියට එන්න..” ගුරුවරයාගේ හඬ ඇසුණ විට මා නැගිට්ටෙමි.
දරුවන් සොයා පැමිණි, දෙමාපියන් තම දරුවන්ව නිවෙස් බලා කැටුව ගියහ. අප වැතිර සිටි වැලි පිට්ටනියේ සිට මීටර් 300 ක් දුරින් තිබු නිවසක් මතට බෝම්බ වැටි තිබුණි.
රාත්‍රීයේ දී එවරෙඩි බැටරි මඟින් ක්‍රියාත්මක වන සෝනි ගුවන් විදුලියෙන් බීබීසි දෙමළ පුවත් සේවය ඇසීම එම කාලයේ දී අප පුරුද්දක් කරගෙන සිටියෙමු.
“එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් කඳවුරක් අපගේ ගුවන් හමුදාව විසින් විනාශ කරන ලදි...” යනුවෙන් එම පුවත් සේවය සමග අදහස් දක්වමින්, එවක ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.
ලොව ඇති හොඳම බොරුව එදින ආරක්ෂක අමාත්‍යංශය ජනතාවට පැවසුවේ ය. අප ද මෙලෙස විවිධ බාධක පසුකර දෙපයින් නැගි සිට මේ වනවිට ඔවුන්ගේ අමාත්‍යංශවල සේවය කරන තත්ත්වයට පැමිණ සිටින්නෙමු.
එවැනි පරිසරයක ජීවත් වූ අපට නිසි මඟ පෙන්වමින් ආරක්ෂා කළ ගුරුවරුන්ට දහස්වාරයක් ස්තූතියි...
ශර්මිලා විනෝදනි Sharmila Vinothini Thirunavukarasu / පරිවර්තනය - ජෙගන් ගනේෂන්
(the leader)