සා.පෙළ හා උසස් පෙළ විභාග රාජකාරි ගෙවීම් තවම කර නෑ - ඉදිරි විභාග අවිනිශ්චිතයි

සා.පෙළ හා උසස් පෙළ විභාග රාජකාරි ගෙවීම් තවම කර නෑ - ඉදිරි විභාග අවිනිශ්චිතයි

පැවති උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගවල විභාග රාජකාරි මුදල් නොගෙවීම පිළිබඳව ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ, උසස් පෙළ විභාගයේ රාජකාරි සඳහා ඉල්ලුම් කිරීමට අවකාශ සැලසෙන ඔක්තෝම්බර් 21 දිනට පෙර පැවැති විභාගවල මුදල් ගෙවීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින අතර, එසේ නොවන්නේ නම් ඉදිරි විභාග කටයුතු අවිනිශ්චිත තත්වයකට පත්වීම වැලැක්විය නොහැකි වනු ඇති බවයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පැවති අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල විභාග රාජකාරි කටයුතු වෙනුවෙන් වූ මුදල් මේ දක්වා එම කටයුතුවල නිරත ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ගෙවීමට කටයුතු කර නැත. අදාළ විභාග පවත්වා ප්‍රතිඵල නිකුත් කර තිබියදීත් විශේෂයෙන්ම පිළිතුරුපත් ඇගයීමේ හා ප්‍රායෝගික පරීක්ෂණ කටයුතුවල නිරත ගුරුවරුන්ට අදාළ ගෙවීම් සිදු නොකිරීම බරපතල ගැටලුවකි.

මේ වන විට නැවතත් උසස් පෙළ විභාගයේ රාජකාරි කටයුතු සඳහා අයඳුම්පත් කැඳවා ඇති අතර, 2022.10.21  දින දක්වා එම අයදුම්පත් කැඳවීම සිදු වේ.

දැන ගන්නට ලැබී ඇති ආකාරයට උසස් පෙළ විභාගයේ රාජකාරි කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 10 කට ආසන්න මුදලක් සහ සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරි කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් ගෙවීමට ඇතත් ඒ සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් මෙතක් ලබාදී නැත.

රටේ පවතින තත්වය අනුව බරපතල ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින ගුරු විදුහල්පතිවරු විභාග රාජකාරි කටයුතුවල යෙදුනේ ඉන්ධන අර්බුධයෙන් ද පීඩා විදිමින් තම වියදමිනි. පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර නැවත උසස් පෙළ විභාගයේ රාජකාරි සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර, එම අයඳුම්පත් කැඳවීම ඔක්තෝම්බර් 21 දිනෙන් අවසන් වේ.

මෙම තත්වය තුළ උසස් පෙළ විභාගයේ රාජකාරි සඳහා ඉල්ලුම් කිරීමට අවකාශ සැලසෙන ඔක්තෝම්බර් 21 දිනට පෙර මෙම මුදල් ගෙවීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු. එසේ නොවන්නේ නම් ඉදිරි විභාග කටයුතු අවිනිශ්චිත තත්වයකට පත්වීම වැලැක්විය නොහැකි වනු ඇත.