රාජ්‍ය බැංකු කොටස්කර විකිණීමේ කුමන්ත්‍රණය පරදවමු

රාජ්‍ය බැංකු කොටස්කර විකිණීමේ කුමන්ත්‍රණය පරදවමු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් 2022 වසරේ ඉතිරි මාස 04 වෙනුවෙන් ආණ්ඩුවේ අතුරු අය වැය යෝජනා 2022.08.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. වසරින් වසර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අය වැය යෝජනාත්, අතුරු අය වැය යෝජනාත් පිළිබඳව බොහෝ කාලයක් තිස්සේ අසා ඇති අප සංගමයට ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කළ අය වැය යෝජනා පිළිබඳවද විශේෂත්වයක් නොමැත. එහෙත් එමඟින් ඉදිරිපත් කරන ලද පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලික අංශයට පැවරීමත්, රාජ්‍ය බැංකුවල කොටස් විකිණීමත් පිළිබඳව අප සංගමයේ අවධානය දැඩිව යොමු වී ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අර්බුදයකට ලක්වන සෑම අවස්ථාවකදීම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අත්වැල සැපයූවේ රාජ්‍ය බැංකු විසිනි. විශේෂයෙන්ම ලංකා බැංකුව සහ මහජන බැංකුව විසිනි. වර්තමානයේ මතු වී ඇති ආර්ථික අර්බුදය පිළිබඳ ප්‍රශ්නයේ දීද එය එසේමය. එම රාජ්‍ය බැංකු නොතිබෙන්නට මහජනතාව රෝග පීඩා විඳිමින් සාගින්නේ මිය ගොස් අවසාන වන්නට ඉඩ තිබිණි. එසේම එම රාජ්‍ය බැංකුවලින් රාජ්‍ය භාණ්ඩාගාරයට සපයා ඇති බිලියන ගණන් මුදල් කිසිම ආණ්ඩුවක් විසින් ආපසු බැංකුවලට ලබාදී නොමැත. එසේ තිබියදීත් එම රාජ්‍ය බැංකු ලාභ ලබමින් ක්‍රියාත්මක වේ.

රාජ්‍ය බැංකු පමණක් නොව කිසිදු රාජ්‍ය ව්‍යවසායයක් රජයේ අයිතියෙන් බැහැර කිරීමට අපි එකහෙළා එරෙහි වෙමු. එම ආයතන පාඩු ලබනවා නම් එසේ සිදුවන්නේ එම ආයතනවල කළමනාකරණයේ වරදිනි. නිසි ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වී ඇත්තේ දේශපාලනයේ වරදිනි. රාජ්‍ය ආයතනවලට දේශපාලන ඇඟිලි ගැසීම හේතුවෙනි. එම ආයතන අලාභ ලැබීමට හේතුවන මහා පරිමාණ වංචා දූෂණ සිදුවන්නේ දේශපාලන අනුග්‍රහයෙනි. එබැවින් එහි වන්දිය මහජනතාවට ගෙවීම සැලසීමට අපි එක හෙළා විරුද්ධ වෙමු.         

මෙවර රාජ්‍ය බැංකු විකිණීම කරළියට පැමිණ ඇත්තේ රාජ්‍ය බැංකු කොටස්වලින් 20% ක අයිතිය සේවකයින්ටත්, තැන්පත්කරුවන්ටත් ලබාගැනීමට අවස්ථාව සලසන බව ප්‍රකාශ කරමිනි. මෙයද සංගමයට අලුත් කරුණක් නොවන්නේ මේ අයුරින්ම සේවකයන්ට කොටස් ලබාගැනීමට අවස්ථාව දෙන බව මින් පෙරද ප්‍රකාශ කර තිබූ බැවිනි. අප සංගමයේ සාමාජිකයින්ට හෝ සමස්ත බැංකු සේවක ප්‍රජාවට රාජ්‍ය බැංකුවල කොටස් මිලදී ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බැවින්, එම යෝජනා කොන්දේසි විරහිතව ප්‍රතික්‍ෂේප කරමින් අරගල කොට පැරදවූ ඉතිහාසයක් අප සංගමයට ඇත. එසේම තැන්පත්කරුවන් කවුරුද ඔවුන්ට කොටස් ලබාදෙන්නේ කෙසේද යන්න කුමන තැනකදීවත් අර්ථ දක්වා නොමැත. එබැවින් තැන්පත්කරුවන් යන වචනයට මුවාවෙමින් කොටස් විකිණීමට සැරසෙන්නේ කාහටද යන්න අපහට අවබෝධ කරගත හැක. 

එසේම මෙලෙස කොටස් විකිණීමට හේතු ලෙස පොලී අනුපාතික වැඩිවීම, අක්‍රීය ණය වැඩිවීම, ආර්ථික අර්බුදය නිසා ණය ආපසු ගෙවීමේදී ව්‍යාපාර මුහුණ දී ඇති ගැටලු යන කාරණා නිසා බැංකු ද්‍රවශීලතා ගැටලුවලට මුහුණදීම දක්වා ඇත. ඉහත ගැටලු සියල්ල මේ වනවිට බැංකු පද්ධතිය රාජ්‍ය හා පෞද්ගලික බේදයකින් තොරව මුහුණ දී ඇති ගැටලු වේ. ආර්ථික අර්බුදය හා වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා උද්ගත වී ඇති එම ගැටලු වලට රජය සහ මහ බැංකුව එක්ව ඉහළ නියාමනයන් සහිත ආර්ථික සැලසුමක් සකස් කළයුතුව ඇත. එසේ නොමැතිව රාජ්‍ය බැංකුවල කොටස් 20% විකිණීම තුළ එම ගැටලුවලට විසඳුමක් නොමැත.

ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකෙහි ණය ගෙවීමට හැකියාව ඇති එහෙත් නොගෙවා පැහැර හැර සිටින මහා පරිමාණ ණයකරුවන් ගෙවිය යුතු බිලියන ගණක අක්‍රමික ණය අයකර ගතහොත් එහි මූල්‍ය අගය මෙම බැංකු දෙකේ කොටස් 20% ක් විකිණීමෙන් ලැබෙන මුදලටද වඩා විශාලය. කළයුත්තේ එවැනි ණය අයකර ගැනීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීම මිස මෙම වටිනා ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීම නොවේ.

එසේම අයවැය යෝජනාවල පවසන පරිදි ආර්ථික අර්බුදය නිසා ව්‍යාපාර විසින් ණය නොගෙවීමේ ගැටලුව දිනෙන් දින ඔඩු දුවමින් තිබේ. බැංකුවල රජය සතු කොටස් පුද්ගලික අංශයට විකිණීමෙන් එයට ලැබෙන පිලියමක් නැත. ණය පමා සහනය :ඵදර්එදරසමප* වැනි පැලැස්තර නවතා එම ව්‍යාපාර නඟා සිටුවීමටත් ඒවාට ලබාදී ඇති බැංකු ණය කළමනාකරණය කිරීමටත් වහා රජය හා මහ බැංකුව මැදිහත් විය යුතුව ඇත. ඒ සඳහා අප දිගින් දිගටම යෝජනා කර ඇත්තේ ව්‍යාපාර හා එම බැංකු ණය පුනරුත්ථාපනය කිරීමට යම් අධිකාරීමය බලතල සහිත ආයතනයක් පිහිටුවිය යුතු බවයි.

බැංකු හා මූල්‍ය පද්ධතියට බලපාන සැබෑ ප්‍රශ්නවලට විසඳුම් නොදී ආණ්ඩුව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට කෙටිකාලීන විසඳුම් ලෙස කොලේ වසා ගසමින් මෙම ජාතික සම්පත් විකුණාගෙන කෑමට සූදානම් වන්නේ නම් අප එයට කිසිසේත් ඉඩ නොතබමු.

එබැවින් මේ වනවිට මෙම විකිණීමේ සෙල්ලම ජනතාවට හෙළිදරව් කිරීම හා එහි සැබෑ අරමුණු ඔවුන්ට පැහැදිලි කිරීම සඳහා අප පියවර ගණනාවක් ගෙන ඇත. බැංකුවල සේවක ප්‍රජාව, ගණුදෙනුකරුවන් ඇතුළු සමස්ත ජනතාව දැනුවත් කර පෙළ ගස්වමින් රටේ අනිකුත් වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඒකරාශී කරගනිමින් ආණ්ඩුවේ මෙම ජාතික සම්පත් විකුණාගෙන කෑමේ වැඩපිළිවෙල පරාජය කිරීම සඳහා ගත හැකි සියලු පියවරයන් ගන්නා බව ලංකා බැංකු සේවක සංගමය ලෙස අවධාරණය කරමු. 

ලංකා බැංකු සේවක සංගමය