හරිතාගාර වායු විමෝචනය වාර්තා කළ දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාලය බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පත් වෙයි

හරිතාගාර වායු විමෝචනය වාර්තා කළ දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාලය බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පත් වෙයි

මිහිතලයේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ලකර ඇති දේශගුණ විපර්යාසය අවමකිරීමේ ක්‍රියාවලියේ මූලිකාංගයක් වන තම කාබන් පියසටහන නොඑසේනම් හරිතාගාර වායු විමෝචනය වාර්තා කළ දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාලය බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පත්වී ඇත. ඊට අදාළ ISO 14064-1:2018 ප්‍රමිති සහතිකය නිල වශයෙන් ප්‍රදානය කිරීමේ උත්සවය (20) දින පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සනාතන මණ්ඩල ශාලාවේදී පැවැත්විනි.

මේ ආකාරයෙන් වාර්ෂිකව කාබන් පියසටහන ගණනය කිරීම සහ සංසන්දනය කිරීම මගින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සඳහා එහි පුද්ගල දායකත්වය අවබෝධ කර ගැනීමට සහ අධීක්ෂණය කිරීමට මෙන්ම හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට අවශ්‍ය උපායමාර්ග ක්‍රියාවට නැගීමට විශ්වවිද්‍යාලයට ඉඩ සලසයි. මෙහිදී අනාවරණය කරගෙන ඇති පරිදි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සෘජු හා වක්‍ර ආකාරයෙන් විමෝචනය කරන වාර්ෂික හරිතාගාර වායු ප්‍රමාණය කාබන්ඩයොක්සයිඩ් ටොන් 3,838.56 ක් ලෙස ගණනය කර සත්‍යාපනය කර ඇත. සෘජු විමෝචනවලට ඉන්ධන වැනි ප්‍රභවයන් ඇතුළත් වන අතර විශ්වවිද්‍යාලය සතු වාහන හා ජනන යන්ත්‍ර සඳහා යොදාගනු ලබන ඉන්ධන සහ රසායනාගාර විමෝචනය මේ යටතට ගැනේ. වක්‍ර විමෝචනය යනු දේශන ශාලා, පරිපාලන ගොඩනැගිලි, ආපනශාලා ඇතුළු විශ්වවිද්‍යාලීය ගොඩනැගිලිවල භාවිතා කිරීම සඳහා මිලදී ගත් විදුලිය වේ. මෙම තොරතුරු වලින් සන්නද්ධවීම මගින් තිරසාරත්වය උදෙසා වූ කේන්ද්‍රය හරහා අදාළ විමෝචන උදාසීන කිරීමට විවිධ පාරිසරික තිරසාර ව්‍යාපෘතිය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මිහිතලය උණුසුම් වීමේ ගෝලීය බලපෑම ඉස්මතු කරන බොහෝ සාක්ෂි සහ පර්යේෂණ සමඟ ගෝලීය උණුසුම සහ එහි ප්‍රතිවිපාක මේ වන විට පුළුල් ලෙස වටහාගෙන ඇති සංසිද්ධියක් වේ. ශ්‍රී ලංකාව, දූපත් රාජ්‍යයක් ලෙස, දේශගුණික විපර්යාසයේ බලපෑම්වලට ගොදුරු වීමේ විශේෂ අවධානමක් ඇති අතර, එබැවින් හැකි සෑම ආකාරයකින්ම මෙම බලපෑම් අවම කිරීමට බැඳී සිටී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය රටේ පාරිසරික යහපැවැත්ම සඳහා කැපවී සිටින විශ්වවිද්‍යාලයක් ලෙස දේශගුණ විපර්යාය පිටුදැකීම සඳහා "කාබන් උදාසීනකරණ ව්‍යාපෘතිය" ක්‍රියාවට නංවා ඇත. වන හා පාරිසරික විද්‍යා අධ්‍යනාංශයේ තිරසාරත්වය උදෙසා වූ කේන්ද්‍රය මේ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කරන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දකුණු ආසියාවේ ප්‍රථම කාබන් උදාසීන විශ්වවිද්‍යාලය බවට පත් කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය ප්‍රියාන් පෙරේරා මහතා සඳහන් කළේ මේ ආකාරයේ විශාල ආයතනයක නිවැරදි කාබන් පියසටහන වාර්තා කිරීම පහසු කාර්යයක් නොවන බවත් විශ්වවිද්‍යාලයේ සියලුම දෙපාර්තමේන්තු සහ අධ්‍යනාංශ වල දායකත්වය සහ සහයෝගය ඊට අවශ්‍ය බවත් ය. ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කාබන් කළමනාකරණ මණ්ඩලයක් පිහිටුවීම සිදුකර ඇති අතර විශ්වවිද්‍යාලයේ සියලුම අංශවල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසකගෙන් එය සමන්විතය. එමගින් සියලුම දෙපාර්තමේන්තුවලට ඔවුන්ගේ තනි තනි හරිතාගාර වායු විමෝචන වාර්තා කිරීමට සහාය වීම සඳහා මධ්‍යගත වෙබ් පාදක මෙවලමක් භාවිතා කිරීමට කටයුතු කළ බව මහාචාර්යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. පුහුණු සැසි සහ වැඩමුළු හරහා කාබන් වාර්තාකරණය පිළිබඳ දැනුවත් කිරීම, සමස්ත දේශගුණික බලපෑම අවම කිරීම සඳහා වර්තමාන සහ අනාගත මුලපිරීම්වල ප්‍රධාන අංගයක් බවද මහාචාර්ය ප්‍රියාන් පෙරේරා මහතා මෙහිදී අවධාරණය කළේය.

නැවත වන වගා ව්‍යාපෘති මගින් හරිතාගාර වායු විමෝචන තිර කිරීම, දේශගුණ විපර්යාස අවම කිරීමේ උපාය මාර්ගයන්හි ප්‍රකට හා පුළුල් භාවිතයක් ඇති අංගයකි. කාබන් තිර කිරීම යනු වායු ගෝලයේ පවතින කාබන් අවශෝෂණය කිරීම සඳහා වනාන්තර හෝ තෘණ බිම් වැනි දෑ නිර්මාණය කිරීමේ ව්‍යාපෘති හරහා කෙනෙකුගේ කාබන් විමෝචනය තුලනය කිරීමේ ක්‍රියාවලියයි. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා වන වඩාත් ඵලදායී ක්‍රමයක් ලෙස මෙය නැවත නැවතත් පෙන්වා දී ඇති අතර එමගින් ලැබෙන වනාන්තර ප්‍රතිස්ථාපනයේ ප්‍රතිලාභ කාබන් තිර කිරීමේ ප්‍රතිලාභද ඉක්මවා යයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිරසාරත්වය උදෙසා වූ කේන්ද්‍රය මගින් දැනටමත් ප්‍රධාන කාබන් තිර කිරීමේ ව්‍යාපෘති 3ක් ක්‍රියාත්මක වේ. යගිරල රක්ෂිතයේ පහතරට නිවර්තන වැසි වනාන්තර හෙක්ටයාර් 145 ක්, වන්නියාගම ප්‍රදේශයේ හෙක්ටයාර් 400 ක වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරයක් සහ හෙක්ටයාර් 7 ක කඩොලාන වනාන්තර සහ කෘෂි වන වගා හරහා මෙසේ කාබන් තිර කිරීම සිදුවේ.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සඳහන් කළේ ISO 14064 -1: 2018 සහතිකය ලබා ගැනීම විශ්ව විද්‍යාලයට වැදගත් සන්ධිස්ථානයක් වන බවත් පාරිසරික තිරසාරත්වය සඳහා තම සරසවියේ කැපවීම, ඊට සම්බන්ධ සියලු දෙනාගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ සහයෝගීතාවය අන් අයටද ආදර්ශයක් බවත් ය. ශක්තිමත් දැක්මක් සහිතව විද්‍යාත්මක පර්යේෂණ සහ කැපවූ කණ්ඩායම් සාමාජිකයින්ගේ ශක්තිමත් පදනමක් සමඟින් දේශගුණ විපර්යාසය අවම කිරීම සඳහා ඉටු කළ හැකි දෑ බොහෝ බවත් දේශගුණික විපර්යාසය කෙරෙහි තම විශ්ව විද්‍යාලයේ බලපෑම අවම කිරීමට එහා ගිය මෙවැනි ජයග්‍රහණ සඳහා උපකාර වන අනාගත මුලපිරීම් සඳහා දිගටම කැපවෙන බවත් උපකුලපතිවරයා වැඩි දුරටත් අවධාරණය කළේය.