දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට කුමක්වෙයිද ?

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට කුමක්වෙයිද ?

රුපියල් ලක්ෂයට වැඩි ආදයම් ලබන්නන්ගෙන් ආදායම මත 6% සිට 36% දක්වා ආදයම් බදු අය කිරීම අරමුණු කරගත්,දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට විශේෂ පෙත්සමක් අද (ඔක්තෝබර් 27 වැනිදා) ගොනු කරණු ලැබිණ.

ඒ, පෞද්ගලික සමාගමක සාමාන්‍යාධිකාරීවරයෙකු වන උතුල සාරංග රණවිර විසිනි.

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත.

අදාළ පනත් කෙටුම්පත සම්මත වුවහොත්,රටේ වෘත්තිකයින්ට පමණක් නොව රටේ මහජනතාවට විශාල අසාධාරණයක් වන බව පෙත්සම්කරු පෙන්වා දෙයි.පෙත්සමේ වගඋත්තරකරු ලෙස දක්වා ඇත්තේ නීතිපතිවරයායි.

එබැවින් පනත් කෙටුම්පතේ 15, 16, 22, 29 , 36 සහ 39 වැනි වගන්ති ඉවත් කිරීමට හෝ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙස ද පෙත්සම් කර අධිකරණයෙන් ඉල්ලා තිබේ.

රජය විසින් පසුගිය 21 වැනිදා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ජනතාව කබලෙන් ලිපට වැටෙයිද?

උග්‍ර ජීවන වියදම හමුවේ මේවන විට මෙරට ජනතාවගෙන් බහුතරයක් දිවිගෙවන්නේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේය. එවැනි පසුබිමක් තුළ නව දේශීය අදායම් පනත් කෙටුම්පත සංශෝධනයෙන් ජනතාව කබලෙන් ලිපට වැටෙයිද?

මේවන විට කෙටුම්පත සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතා බහක් ඇතිව තිබෙන්නේ, මාසික ආදායම රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි සියලු දෙනා ආදායම් බද්දට යටත්වීම හේතුවෙනි. මේ වන විට බදු අයකරන්නේ මාසික ආදායම රුපියල් 250,000 වැඩි යෙන් උපයන පුද්ගලයින්ගෙන් පමණි.

2017 අංක 24 දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන දේශීය ආදායම් පනත් කෙටුම්පත (සංශෝධන) පිළිබඳ ගැසට් නිවේදනය ඔක්තෝබර් 12 වැනිදා නිකුත් කරනු ලැබීය.

මුදල් හා ආර්ථික ස්ථායිකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.

නව අදායම් බද්ද ජනතාවට දරා ගත හැකිද?

බදු වැඩි වෙන්නේ කොහොමද?

  • ගැසට් නිවේදනයට අනුව මාසික ආදායම රුපියල් ලක්ෂය හෝ ඊට වඩා වැඩි පුද්ගලයන්ගෙන් ආදායම් බද්දක් අයකරනු ලැබේ.
  • අඩුම බදු අනුපාතය 06%ක් වන අතර ඉහළම බදු අනුපාතය 36% කි.
  • රුපියල් ලක්ෂය දක්වා ආදයම් ලබන පුද්ගලයින්ට ආදයම් බදු අය කිරීමක් නොමැත.
  • කාණ්ඩ 06ක් යටතේ බදු අය කෙරන අතර 06%, 12%, 18%, 24%,30%, 36% ලෙස ආදයම අනුව බදු ප්‍රතිශත ඉහළ දැමෙනු ඇත.
  • 2022 ඔක්තෝබර් 01 වනදා සිට 2023 මාර්තු 31 දක්වා තක්සේරු වර්ෂයේ ඉතිරි මාස 06හි ආදායම රුපියල් ලක්ෂ 6ක් හෝ ඊට අඩු නම් එම පුද්ගලයින් ආදායම් බදුවලින් නිදහස් වෙයි.
  • එම දෙවන මාස 06 හි ආදායම රුපියල් ලක්ෂ 6 සීමාව ඉක්මවන්නේ නම් එහිදී වැඩිවන පළමු රුපියල් 250,000 සඳහා 6%ක බදු මුදලක් අයකිරීමට යෝජිතය.
  • දෙවන මාස හයේ මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් 250,001 සිට රුපියල් ලක්ෂ 5 අතර ආදායම පවතින පුද්ගලයෙකුගෙන් 12%ක් සහ මුල් ලක්ෂ 5 සීමාව ඉක්මවා රුපියල් ලක්ෂ හතහමාරක් දක්වා 18%ක ආදායම් බද්දක් අයකරගැනීමට යෝජනා කර ඇත.
  • රුපියල් 750001ත් රුපියල් මිලියනයත් අතර ආදායම පවතින පුද්ගලයෙකු 24%ක් ද රුපියල් මිලියනයට වැඩි මිලියන 1.2ක් උපයන පුද්ගලයින්ගෙන් 30%ක ආදායම් බද්දක් සහ රුඔඉයල් මිලියන 1.2කට වැඩි ආදායමක් ලබන පුද්ගලයෙකුගෙන් 36%ක ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.
  • 2023 අප්‍රේල් 01 වනදා සිට ඉදිරි වර්ෂයක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත දේශීය ආදායම් බදු නීතිය අනුව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12ක් වන පුද්ගලයෙකුගෙන් ආදායම් බදු අයකිරීමක් සිදු නොවේ.
  • එතැන් සිට උපයන අතිරික්ත රුපියල් ලක්ෂ 5 සඳහා සියයට 6ක බදු මුදලක් අය කෙරේ.
  • මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 10 දක්වා උපයන පුද්ගලයෙකුගෙන් සියයට 12ක්ද අය කෙරේ.
  • මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 15 දක්වා වාර්ෂිකව ආදායම උපයන පුද්ගලයෙකුගෙන් සියයට 18ක් බදු වශයෙන් අය කර ගැනීමට යෝජිතය.
  • මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 15 සිට රුපියල් ලක්ෂ 20 දක්වා වාර්ෂිකව ආදායම් ලබන පුද්ගලයෙකුගෙන් සියයට 24ක් මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 20 සිට රුපියල් ලක්ෂ 25 දක්වා වාර්ෂිකව උපයන පුද්ගලයෙකුගෙන් සියයට 30ක් හා මුල් ලක්ෂ 12 හැර ආදයම රුපියල් ලක්ෂ 25 ඉක්මවන පුද්ගලයෙකුගෙන් සියයට 36ක ආදායම් බද්දක් අයකරගැනීමට යෝජිතය.
  • කෙසේවෙතත් මෙම ආදායම් පනත් සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිත අතර එහිදී ද සංශෝධන එකතු විය හැකි බැවින් මෙම ප්‍රතිශතයන් වෙනස්විය හැකි බවට ආදායම් බදු විශේශඥයින් පවසයි.
  • දැනට පවතින දේශීය ආදායම් පනත අනුව වාර්ෂික පුද්ගල ආදායම රුපියල් ලක්ෂ 30 (මාසික ආදායම රුපියල් 250,000) ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන් රජය ආදායම් බදු අයකරගනු ලබයි.
  • නව කෙටුම්පතට අනුව යෝජනා කර ඇත්තේ මේ වසරේ ඔක්තෝබර් පළමුවනදා සිට ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා මාස 06 තුළ ආදායම රුපියල් ලක්ෂ 6 ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන්ම ආදායම් බදු අයකර ගැනීමටත් ලබන වසරේ සිට වාර්ෂික ආදායම වාර්ෂික පුද්ගල ආදායම රුපියල් ලක්ෂ 12 (මාසික ආදායම රුපියල් 100,000) ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන් රජය ආදායම් බදු අයකරගනු ලබයි.
  • ඉදිරි කාලය තුළ මෙතෙක් ලබා දී තිබූ වසරකට රුපියල් මිලියන 1.2ක් වූ වියදම් සහන ද ඉවත් කිරීමට පනත යෝජනා කර ඇත.
  • මෙයට අමතරව සම්මත ආයතනික ආදායම් බදු අනුපාතය ඔක්තෝම්බර් මස පළමුවැනිදා සිට 30% දක්වා ඉහළ නංවනු ඇත. මෙතෙක් සහනදායී බදු අනුපාත භුක්ති විඳි අපනයන, වැවිලි, සෞඛ්‍ය සේවා සහ සංචාරක සහ තොරතුරු තාක්ෂණ වැනි අංශ වලත් මෙතැන්පටන් ආයතනික ආදායම් බදු අනුපාතය වූ 30% ක සම්මත ආයතනික බදු අනුපාතය ගෙවීමට සිදු වනු ඇත.

IMF කොන්දේසියක් ද ?

රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැමිණි එකගතාවයන්ට අනුකූලව මෙම බදු සංශෝධනය සිදු කර තිබේ.

ආණ්ඩුවේ මෙම බදු සංශෝධනය සම්බන්ධයෙන් ජනතාවගෙන් විරෝධය එල්ල වෙයිද? සමගි ජන බලවේගයේ ආර්ථික මධ්‍යස්ථානයේ සාමාජික ආචාර්ය හර්ෂ ද සිල්වා චෝදනා කර සිටියේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවට හෝ පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට ඉදිරිපත් කර පූර්ව අනුමැතිය ලබාගෙන නොමැති බවයි.

"දැන් ආහාර උද්දමනය 94.5%. ලෝකයේ ඉහළම ආහාර උද්ධමනය තියෙන රටක්. මිනිස්සුන්ගේ වත්කම 50%කින් අඩුවෙලා. මොකද රුපියල 80%කින් කඩා වැටිලා. මිනිස්සු හාන්සි වෙලා. ආයතන වැහෙනවා. මේ අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය සෘණ 9.2 කියලා ලෝක බැංකුව කියනවා." හර්ෂ ද සිල්වා අවධාරණය කළේය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා චෝදනා කළේ බදු සංශෝධනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ දක්වා ඇති එක් පියවරක් වන අතර එය ජනතාවගෙන් වසන් කර ඇති බවයි.

"අපි පිළිගන්නවා, ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ, හැබැයි ඒ ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ, ජනතාව සහ රටේ ආර්ථිකය, කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයෝ, විශාල ආයතන විනාශ කරන්නේ නැතිව. අපි ඔපරේෂන් එක කරන්න ඕනේ. ලෙඩා බේරා ගන්න. දොස්තර කියනවා නම් ඔපරේෂන් එක සාර්ථකයි. ලෙඩා මළා කියලා. එකෙන් ඇති වැඩක් නැහැ." මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ "අපි පිළිගන්නවා බදු යම්කිසි සංශෝධන කරන්න ඕනේ. හැබැයි ඒ සංශෝධන කරන්න ඕනේ ජනතාවට දරා ගන්න පුලුවන් විදිහට."

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම යෝජිත 'ඒකාධිපති බදු සංශෝධන' මීට වඩා සාකච්ඡා කළ යුතු බත්, සතියකින් දෙකකින් නොව පියවරෙන් පියවර ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළ යුතු බවයි.

මහජන අදහස් විමසීමකින් තොරව මෙම බදු සංශෝධන ක්‍රියාත්මක කළහොත් ජනතාව නැවත මහ මඟට බැසීම ඇතුළු ව්‍යසනකාරී තත්ත්වයන් ඇති විය හැකි බව ආචාර්ය හර්ෂ ද සිල්වා අනතුරු ඇඟවීය.

චීනය, ජපානය වැනි රටවලින් ලැබෙන ඩොලර් බිලියන ගණනින් මූල්‍ය පහසුකම් ලබා දෙන බවට පොරොන්දු වී ඇතත් ඒ කිසිවක් ලැබී නොමැති බැවින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳපොළේ දොරටු වැසී ඇති බවත්, මිත්‍ර රටවල දොරටු වැසී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

"ලෝක බැංකුව, ආසියානු බැංකුව සහ AIB බැංකුවේ දොරවල් ද අපට වසා ඇත," ආචාර්ය ද සිල්වා පැවසීය.

දෙසැම්බර් මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විදේශ අරමුදල් පහසුකම අත්සන් කර පළමු ඩොලර් බිලියන 2.9 ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි ජනාධිපතිවරයා පැවසුවද එය සිදු වන බවක් පෙනෙන්නට නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

පහසුකම් සපුරාලීම සඳහා ප්‍රතිපත්ති ලෙස දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික යහපාලනය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.

"ධරිද්‍රතාවය 27% කින් වැඩි වෙලා"

OXFAM විසින් නිකුත් කරන ලද 2022 අසමානතාවය අඩු කිරීම උදෙසා කැපවීම පිළිබඳ (CRI) දර්ශකය අනුව කොවිඩ් වසංගතය පමණක් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය 27% කින් වැඩි කර ඇති බව අනාවරණය කළේය.

වසංගතයේ පළමු වසර දෙක තුළ අසමානතාවයට එරෙහිව සටන් කිරීම සඳහා රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග දෙස බලන පළමු සවිස්තරාත්මක විශ්ලේෂණය වන වාර්තාව මෙය වන අතර 2020-2022 කාලය තුළ ලොවපුරා ආණ්ඩු 161 ක් වියදම්, බදු සහ ශ්‍රම ප්‍රතිපත්ති පිළිබඳ විශ්ලේෂණයක් මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත.

අසල්වැසි රටවල් හා සසඳන විට, ශ්‍රී ලංකාව වාර්තාවේ 111 වැනි ස්ථානයට පත්ව ඇති අතර අනෙකුත් රටවල් 161 න් නේපාලය (112 වැනි), භූතානය (116), ඉන්දියාව (123), පාකිස්තානය (126) සහ ඇෆ්ගනිස්තානය (138) වේ.

වසර දෙකකට පෙර, 2020 අසමානතාවය අවම කිරීම සඳහා වූ කැපවීමේ (CRI) දර්ශකයේ රටවල් 158ක් අතර ශ්‍රී ලංකාව 94 වැනි ස්ථානයට පත්ව සිටි අතර, එම වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාව ස්ථාන 17කින් පහළ බැස තිබේ.

රටවල් 161 කින් අඩුම රාජ්‍ය සේවා වියදම් කරන රට ශ්‍රී ලංකාව වන අතර 2019 වසරේ සිට දැනටමත් සෞඛ්‍ය සහ අධ්‍යාපන අයවැය වියදම් පහෙන් එක බැගින් කපා හරිමින් සිටින බව වාර්තාව අවධාරණය කරයි.

බදු සංශෝධනවලට පෙර සොරකම් කළ වත්කම් ආපසු අයකර ගන්න: වෘත්තීය සමිති

බදු බර ජනතාව මත පැටවීම සාධාරණ නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ අවධාරණය කළේය. ඔහු පෙන්වා දුන්නේ විශාල සමාගම් රුපියල් බිලියන 800 ක බදු මුදල් ගෙවා නොමැති බවයි.

සීනි වංචාව වැනි වංචා සිදුවී ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඊට සම්බන්ධ සමාගම්වලින් බදු ප්‍රතිපූරණය කර නොමැති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එපමණක් නොව, පොල්තෙල් මගඩියට සහ සුදුලූනු මගඩියටද අත්වී ඇත්තේ එම ඉරණම බවද ජාගොඩ සඳහන් කළේය.

පළමුව එම මුදල් අයකර නොගෙන බදු ගෙවන්නන් මත විශාල බරක් පැටවීම අසාධාරණ බව ඔහු අවධාරණය කළේය.

අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ චෝදනා කළේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ජන ජීවිතය මිරිකීමට උත්සාහ කරන බවටය.

"මේ රට හදන්නේ නැහැ, මිනිස්සුන්ගේ ජීවිත මිරිකනවා, ජනතාව බඩගින්නේ තියන්නයි හදන්නේ, ඒ නිසා අද රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික සියලුම සේවකයන්ගෙන් බදු අය කරන මේ බදු පනත වහා වෙනස් කළ යුතුයි. ඒ සඳහා අපේ සටන අපි දිගටම කරගෙන යනවා." ඔහු වැඩිදුරටත් පැවසීය.

ආර්ථික විශේෂඥයින් පවසන්නේ රටේ පවතින අධි උද්ධමනය හමුවේ මෙසේ බදු ඉතාමත් විශාල මුදලකින් ඉහළ දැමීමෙන් ජනතාව ගේ ක්‍රයශක්තිය තවත් අඩුවන බවත් එය බුද්ධි ගලනය වැඩිවීමට තවත් හේතුවක් විය හැකි බවයි.

(ප්‍රධාන ශිර්ෂය වෙනස් කර ඇත)

(bbc/sandeshaya)