“වහාම බදු පනත නිවැරිදි කිරීමට දායක වන්න“ - වෛද්‍ය සංගමය සියලු මන්ත්‍රීවරුන්ට ලියයි

“වහාම බදු පනත නිවැරිදි කිරීමට දායක වන්න“ - වෛද්‍ය සංගමය සියලු මන්ත්‍රීවරුන්ට ලියයි

යෝජිත බදු සංශෝධන හරහා වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදී කාණ්ඩ සදහා එල්ල වී ඇති බරපතල අහිතකර බලපෑම් පාර්ලිමේන්තුව තුල නිවැරදි කිරිම සඳහා සුදුසු මැදිහත්වීම් සිදු කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින්  රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත් අලුත්ගේ මහතා විසින් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් වෙත යොමු කළ ලිපියක් යොමුකර ඇත.

එම ලිපිය පහතින දැක්වේ

GMOA/Misc/2022/0045

25/10/2022

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා / මන්ත්‍රීතුමියන්ලා වෙත,

යෝජිත බදු සංශෝධන හරහා වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදී කාණ්ඩ සදහා එල්ල වි ඇති බරපතල අහිතකර බලපෑම් නිවැරදි කිරිම සදහා සුදුසු මැදිහත්වීම සිදු කිරීමේ වැදගත්කම.

මෑතකදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් දේශීය ආදායම් බදු පනතට ගෙන ඒමට නියමිත සංශෝධන හරහා රට තුල පවතින බදු ව්‍යුහයන් සැලකිය යුතු වෙනස් කම් වලට භාජනය වන බව තහවුරු වී ඇත.

මේ හරහා වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදි කාණ්ඩ වෙත එල්ල වන බරපතල අහිතකර බලපෑම් නිවැරදිව හදුනා ගැනීමකින් තොරව ඉදිරිපත්ව ඇති සංශෝධන ඉදිරියට ගෙන යාම සිදු නොකල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස පෙන්වා දෙමු.

මේ වන විටත් බරපතල ගැටලුවක් බවට පත්ව ඇති වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදීන් රට හැර දමා යාම තවදුරටත් වේගවත් කිරීමටත්, ඒ හරහා ඒ අයගේ සේවාවන් රාජ්‍ය අංශයටත් සමස්ථ රටටත් අහිමි වීම තවදුරටත් තීව්‍ර කිරීමටත් ඉදිරිපත්ව ඇති බදු සංශෝධන හේතු වන බව සාධක සහිතව සනාථ වී ඇත.

  1. රාජ්‍ය අංශය තුල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු වෛද්‍යවරුන් වර්ෂය තුල මාස 12 තුල උපයන වැටුපෙන් මාස 02 ක සම්පූර්ණ වැටුපට ආසන්න මුදලක් බදු ලෙස ගෙවීමට මෙම යෝජිත බදු සංශෝධනය හරහා සිදුව ඇත. ඒ හරහා වසරක සේවය වෙනුවෙන් ඒ අයට සත්‍ය වශයෙන් ගෙවනු ලැබෙනුයේ මාස 10 ක වැටුප් පමණි.
  2. ඉහල හා පහල ශ්‍රේණි අතර අසාමාන්‍ය ඉහල බදු ප්‍රතිශත පරතරය හේතුවෙන් එකම සේවයේ විවිධ සේවා කාණ්ඩ අතර මෙන්ම ශ්‍රේණි අතර බරපතල වැටුප් විෂමතාවක් නිර්මාණය වනු ඇත. මේ හරහා පවතින ජාතික වැටුප් ප්‍රතිපත්තිය පවා බරපතල අභියෝගයන්ට ලක් වෙයි.
  3. වඩා බරපතල කරුණ නම් මතුව ඇති උද්ධමනකාරී වටපිටාවට ගැලපෙන පරිදි රාජ්‍ය සේවය තුල වැටුප් වැඩි වීමක් සිදු නොවුණු පසුබිමක, ක්‍රය ශක්තිය තවදුරටත් හීන වන පරිදි රාජ්‍ය අංශයේ වෘත්තීකයන් ඉලක්ක වන මෙවන් බදු සංශෝධනයක් සිදු වීමයි. 

ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුව තුල මේ සම්බන්ධයෙන් සුදුසු ධනාත්මක මැදිහත්වීම් සිදු කරන මෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබ වහන්සේ/ ඔබතුමා/ ඔබතුමිය ඇතුලු සමස්ථ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

එහිදී අප විසින් පහත යෝජනා කර ඇති සංශෝධන පිළිබද විශේෂ සැලකිල්ලක් දක්වා කටයුතු කරනා මෙන් ගෞරව පෙරදැරිව සිහිපත් කරමු.

  1. බදු අය කිරීමේ ආරම්භක සීමාව ලෙස දක්වා ඇති වසරකට රුපියල් ලක්ෂ 12 යන්න ලක්ෂ 24 දක්වා ඉහල නැංවීම ( මාසිකව සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 02 දක්වා) .
  2. ඉදිරිපත්ව ඇති සංශෝධනයේ සදහන් බදු අය කිරීමේ කාණ්ඩ (Tax slabs) වසරකට රුපියල් ලක්ෂ 05 සීමාවේ සිට රුපියල් ලක්ෂ 06 සීමාව දක්වා ඉහල නැංවීම.
  3. දැනට ඉදිරිපත්ව ඇති බදු සංශෝධන සදහා වූ බදු අය කිරීමේ ප්‍රතිශතයන් 6% සිට 36%  දක්වා වන ප්‍රමාණයන් 4% සිට 24 % දක්වා වන ලෙස සංශෝධනය කිරීම.
  4. වෛද්‍යවරුන් සදහා ලබා දෙන සේවාවන්ට අදාල සුවිශේෂි දීමනාවන් වන DAT (බාධා කිරීම්,  පැමිණීම් හා ප්‍රවාහන) දීමනාව හා අමතර රාජකාරි දීමනාව බදු අය කිරීම් වලින් නිදහස් කිරීම (වර්ෂ 2016 ට පෙර පැවති ආකාරයට).
  5. වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදින්ගේ සේවාවන් හා ලාභ උපයන ව්‍යාපාර සදහා එකම බදු රාමුව අනුගමනය නොකර වෘත්තීයවේදීන් සදහා අයකරන බදු ප්‍රතිශතයන්හී උපරිම සීමාව පහත මට්ටමක රදවා තැබීම.
  6. නියමිත පරිදි බදු ගෙවන පිරිස් ඒ සදහා ධෛර්යමත් කරමින් බදු ගෙවීම හරහා ඒ අයට ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභයන් ප්‍රකාශයට පත් කිරීම.
  7. එකතු වන බදු මුදල් මහජන සුභ සිද්ධිය සදහා යෙදවෙන බව තහවුරු කරන පාරදෘශ්‍ය හා විශ්වාසදායී ක්‍රමවේදයන් ප්‍රකාශයට පත් කිරිම.
  8. වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදී කාණ්ඩ තමන් පෞද්ගලික අංශයේ ලබා දෙන සේවාවන් සදහා යන ප්‍රවාහන වියදම් ඇතුලු අනිකුත් වියදම් සාධාරණ උපරිම සීමාවකට යටත්ව ආදායම් බදු වලින් නිදහස් කිරීම.

රට මුහුණ දි ඇති බරපතල ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා පවතින බදු රාමුව තුල සංශෝධනයන්  සිදු කල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස දැඩි ලෙස විශ්වාස කරමු.

කෙසේ නමුත් එවන්  බදු සංශෝධනයක් සාධාරණ සීමාවන් තුල සිදුවිය යුතුය යන්නද අමතක නොකල යුතුය.

ඒ අනුව මේ පිලිබදව පාර්ලිමේන්තුව තුල සිදුවන ඉදිරි කටයුතු සදහා ඔබ වහන්සේ/ ඔබතුමා/ ඔබතුමියගේ සක්‍රීය හා සාධනීය මැදිහත්වීම ලබා දෙනු ඇතැයි දැඩි ලෙස විශ්වාස කරමු.