යෝජිත බදු සංශෝධන හරහා වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදී කාණ්ඩ සදහා එල්ල වී ඇති බරපතල අහිතකර බලපෑම් පාර්ලිමේන්තුව තුල නිවැරදි කිරිම සඳහා සුදුසු මැදිහත්වීම් සිදු කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත් අලුත්ගේ මහතා විසින් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් වෙත යොමු කළ ලිපියක් යොමුකර ඇත.
එම ලිපිය පහතින දැක්වේ
GMOA/Misc/2022/0045
25/10/2022
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා / මන්ත්‍රීතුමියන්ලා වෙත,
යෝජිත බදු සංශෝධන හරහා වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදී කාණ්ඩ සදහා එල්ල වි ඇති බරපතල අහිතකර බලපෑම් නිවැරදි කිරිම සදහා සුදුසු මැදිහත්වීම සිදු කිරීමේ වැදගත්කම.
මෑතකදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් දේශීය ආදායම් බදු පනතට ගෙන ඒමට නියමිත සංශෝධන හරහා රට තුල පවතින බදු ව්‍යුහයන් සැලකිය යුතු වෙනස් කම් වලට භාජනය වන බව තහවුරු වී ඇත.
මේ හරහා වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදි කාණ්ඩ වෙත එල්ල වන බරපතල අහිතකර බලපෑම් නිවැරදිව හදුනා ගැනීමකින් තොරව ඉදිරිපත්ව ඇති සංශෝධන ඉදිරියට ගෙන යාම සිදු නොකල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස පෙන්වා දෙමු.
මේ වන විටත් බරපතල ගැටලුවක් බවට පත්ව ඇති වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදීන් රට හැර දමා යාම තවදුරටත් වේගවත් කිරීමටත්, ඒ හරහා ඒ අයගේ සේවාවන් රාජ්‍ය අංශයටත් සමස්ථ රටටත් අහිමි වීම තවදුරටත් තීව්‍ර කිරීමටත් ඉදිරිපත්ව ඇති බදු සංශෝධන හේතු වන බව සාධක සහිතව සනාථ වී ඇත.
ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුව තුල මේ සම්බන්ධයෙන් සුදුසු ධනාත්මක මැදිහත්වීම් සිදු කරන මෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබ වහන්සේ/ ඔබතුමා/ ඔබතුමිය ඇතුලු සමස්ථ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
එහිදී අප විසින් පහත යෝජනා කර ඇති සංශෝධන පිළිබද විශේෂ සැලකිල්ලක් දක්වා කටයුතු කරනා මෙන් ගෞරව පෙරදැරිව සිහිපත් කරමු.
රට මුහුණ දි ඇති බරපතල ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා පවතින බදු රාමුව තුල සංශෝධනයන් සිදු කල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස දැඩි ලෙස විශ්වාස කරමු.
කෙසේ නමුත් එවන් බදු සංශෝධනයක් සාධාරණ සීමාවන් තුල සිදුවිය යුතුය යන්නද අමතක නොකල යුතුය.
ඒ අනුව මේ පිලිබදව පාර්ලිමේන්තුව තුල සිදුවන ඉදිරි කටයුතු සදහා ඔබ වහන්සේ/ ඔබතුමා/ ඔබතුමියගේ සක්‍රීය හා සාධනීය මැදිහත්වීම ලබා දෙනු ඇතැයි දැඩි ලෙස විශ්වාස කරමු.
