වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපාර හෙට පාරට

වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපාර හෙට පාරට
වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව අද (02) කොළඹදී විරෝධතා පාගමනයක් සහ රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
 
‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය සහ නිදහස ජාතික සභාව යන දේශපාලන පක්ෂ ද, ඊට එක්වීමට නියමිත බැව් වාර්තා වේ.
 
වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව ආණ්ඩුවට එරෙහිව සංවිධාන කරන විරෝධතා පාගමන හෙට මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් ආරම්භ කිරීමට නියමිතය.
 
කොටුව දුම්රිය පොළ දක්වා එය ගමන් ගැනීමට සැලසුම් කර තිබේ.
 
වෘත්තිය සමිති නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු එයට සහාය දෙන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන ලදී.
 
ඉන් පසුව විරෝධතාව සඳහා සමගි ජන බලවේගයේ සහාය ලබාගැනීමට අදාළ ගිවිසුමට අත්සන් කිරීමට වෘත්තිය සමිති නියෝජිතයන් සහ බහුජන සංවිධාන ඊයේ (01) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසුණි.
 
වෘත්තීය සමිති ඒකාබද්ධ බලවේගය ද, හෙට පැවැත්වීමට නියමිත විරෝධතාවට සිය සහභාගීත්වය අද තහවුරු කරන ලදී.
 
කෙසේවෙතත්, කලක් වෘත්තීය සමිති හා  බහුජන ව්‍යාපාර සමඟ සහයෝගයෙන් කටයුතු කළ ගෝල්ෆේස් අරගල භූමිය නියෝජනය කළ එජාප හිතෛෂි බ්ලැක් කැප් සංවිධානය හෙට විරෝධතා ව්‍යාපාරයට තමන් එරෙහි බව නිවේදනය කර තිබේ.
 
රටේ මූලික ප්‍රශ්න කිසිවකටත් විසඳුම් නැතත්, ඇතැමුන් තමන්ගේ නායකයන් බලයේ සිටීම පමණක් හේතුකොට ගෙන අරගලය කර ඇරීම කනගාටුදායක බව වෘත්තීය සමිති නියෝජිතයෙක් වැඩබිමට කියා සිටියේය.