ශ්‍රී ලංකා ආර්ථිකයේ කාන්තා දායකත්වය ඉතා ඉහළයි

ශ්‍රී ලංකා ආර්ථිකයේ කාන්තා දායකත්වය ඉතා ඉහළයි
ශ්‍රී  ලංකාවේ ආර්ථිකයට ඉතා ඉහළ සක්‍රීය දායකත්වයක් කාන්තාවන් විසින් ලබාදෙන බවත්, ආර්ථිකමය වශයෙන් පමණක් නොව සමාජීය හා දේශපාලනික වශයෙන්ද ඉතා වැදගත් භූමිකාවක් ලාංකික සමාජය තුළ කාන්තාව විසින් ඉටුකරන බවත් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.
 
එබැවින් ඔවුන් තවදුරටත් තාක්ෂණිකව බලාත්මක කිරීම ඉතා වැදගත් බව ඇමතිවරයා සදහන් කළේය. 
 
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ආසියා හා පැසිපික් කලාප සඳහාවන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම ( ESCAP)  විසින් සංවිධාන කළ කාන්තා ව්‍යවසායකයින් සඳහා විද්ද්‍යුත් වාණිජ්‍ය හා ඩිජිටල් අළෙවිකරණය පිළිබඳ ජාතික පුහුණු වැඩසටහනට සහභාගි වෙමිනි.
 
විද්‍යුත් වාණිජ්‍ය හා ඩිජිටල් අළෙවිකරණය පිළිබඳව කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම,  ආසියා හා පැසිපික් කලාප සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම ( ESCAP)   විසින් සංවිධානය කළ මෙම පුහුණු වැඩසටහනේ මූලික අරමුණ වේ. දින 3 ක පුහුණු වැඩසටහනක් වන මේ මඟින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් තෝරාගත් ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් 85 දෙනෙක් සඳහා පුහුණුව ලබාදෙයි. 
 
ආසියා හා පැසිපික් කලාප සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම  ( ESCAP)   විසින් සංවිධානය කළ මෙම වැඩසටහන කර්මාන්ත අමාත්‍යාංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, කාන්තා  ළමා කටයුතු හා සමාජ බලගැනවීමේ අමාත්‍යාංශය, කොළඔ විශ්ව විද්‍යාලය වැනි ආයතන රැසක සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරනු ලබයි.
 
මෙම අවස්ථාවට ආසියා හා පැසිපික් කලාප සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ දකුණු හා ගිණිකොණ ආසියා කාර්යාල ප්‍රධානී මිකිකො ටනාකා (Ms. Mikiko Tanaka), එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකරක හැනා සින්ගර්, (Ms. Hanna Singer), කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ජාතික ශිල්ප සභාවේ සාභාපති සම්පත් ඇරැහපොල යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.